උතුරු පළාත් සභාවේ ද සහයෝගය සමඟින් වව්නියාව, මන්නාරම, මුලතිව් සහ කිලිනොච්චි යන දිස්ත්‍රික් මහ රෝහල් හතර මධ්‍යම රජයයේ මුලිකත්වය යටතේ යම් සැලසුමකට අනූව සංවර්ධනය කර එම ප්‍රදේශයේ ජනතාවට ගුණාත්මක, විශිෂ්ට, කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබා දීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගිය දා වව්නියාව දිස්ත්‍රික්කයේ රෝහල් කිහිපයක සිදුකරන ලද විශේෂ නිරීක්ෂණ චාරිකාව අතරතුරදී ය.
වව්නියාව දිස්ත්‍රික්කයේ ජීවත්වන ජනතාවට ප්‍රශස්ථ, කාර්යක්ෂම රෝගී සත්කාර සේවාවක් ලබා දීම අරමුණු කර ගනිමින් එම දිස්ත්‍රික්කය තුළ ස්ථාපිත රජයේ රෝහල් වල පවතින මානව සහ භෞතික සම්පත් සංවර්ධනය කිරීම අරමුණ කර ගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම විශේෂ නිරීක්ෂණයේ නිරත විය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ සංකල්පයක් මත සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙරට රජයේ රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව හා ඉහළ පහසුකම් වලින් සමන්විත රෝගී සත්කාර සේවා සමගින් පවත්වා ගෙන යාම මුලික අරමුණ කරගෙන දිස්ත්‍රික් මට්ටමින් එම රෝහල් වල පවතින අඩුපාඩු සොයා බලා එ්වාට කඩිනම් විසදුම් ලබා දෙමින් ග්‍රාමීය ජනතාවට ගුණාත්මක, විධිමත් සුව සත්කාර සේවාවක් ලබා දීමේ අදිටනින් ආරම්භ කර ඇති විශේෂ වැඩපිළිවෙලට සමගාමී ව අමාත්‍යවරයා මෙම විශේෂ නිරීක්ෂණ චාරිකාව සිදු කරනු ලැබීය.
මෙරට තෘතීයික සෞඛ්‍ය සත්කාර සපයන රජයේ රෝහල් 53 න් රේඛීය අමාත්‍යාංශය යටතේ පාලනය නොවන රෝහල් ප්‍රමාණය හතක් බව සිහිපත් කළ අමාත්‍යවරයා හොරණ, අවිස්සාවේල්ල, ගම්පහ යන රෝහල් ත්‍රිත්වය හැරුණුකොට ඉතිරි රෝහල් හතර උතුරු පළාතේ ප්‍රධාන රෝහල් හතර බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.
වත්මන් රජය මෙරට සෞඛ්‍ය සේවාව කාර්යක්ශමව හා විධිමත්ව පවත්වාගෙන යාම අරමුණ කරගනිමින් අලුතින් හෙද හෙදියන් 3000 කට ආසන්න ප්‍රමාණයකට ඉදිරියේ දී පත්වීම් ලබා දීමට අවශ්‍යකරන කටයුතු මේ වන විට සැලසුම් කර තිබෙන බව අවධාරණය අමාත්‍යවරයා ඉදිරි මාස හතර තුළ දී හෙද හෙදියන් පන්සියයකට පමණ පත්වීම් ලබා දීමට කටයුතු කරන බවත්, ඊට අමතරව තවත් උපාධිධාරීන් 800 ක ප්‍රමාණයකට අනුමැතිය ලද විගස පත්වීම් ලබා දීමට කටයුතු කරන බව ද වැඩිදුරටත් පැවසීය.
එමෙන් ම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනියන් 976 කට මේ වන විට පත්වීම් ලබා දී තිබෙන බව සිහිපත් කළ අමාත්‍යවරයා ඉදිරි මාස කිහිපය තුළ දී උපස්ථායක තනතුර සදහා (Attendant) 1000 ක් ශ්‍රේණි උසස්වීම් මත කාර්ය මණ්ඩලයෙන්ම බඳවා ගැනීමට කටයුතු කරන බවත්, සෞඛ්‍ය කාර්ය සහායකයන් ද ඉදිරියේ දී බදවා ගැනීමට කටයුතු කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කර සිටියේය.
