ශ්රී ලංකාවේ ජපන් තානාපතිවරයා අකියෝ ඉසොමාටා පසුගියදා මහත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කර තිබුණා.
ශ්රී ලංකාවේ වංචා දූෂණවල ගොදුරක් බවට ජපානය පත් වූ බව ඔහු පවසනවා.
පාත් ෆයින්ඩර් පදනම පසුගියදා කොළඹ දී පැවැත්වූ වටමේස සාකච්ඡාවක දී ජපන් තානාපතිවරයාගෙන සිදුකළ ප්රශ්න කිරීමකදී මේ බව ප්රකාශ කර තිබුණා.
ශ්රී ලංකාවේ සිදුවූ දූෂණ වංචා සහ අක්රමිකතා හේතුවෙන් සිය රජයට දැඩි පීඩනයක් එල්ල වූ බවයි ඒ මහතා එහිදී ප්රකාශ කර ඇත්තේ.
මෙවැනි තත්ත්වයන් මගහරවා ගැනීමට වත්මන් ආණ්ඩුව සුදුසු පියවර අනුගමනය කරනු ඇති බවයි තමන් උපේක්ෂා සහගතව සිටින බවද තානාපතිවරයා සඳහන් කළා.
ශ්රී ලංකාවේ ආයෝජන සුරක්ෂිත කිරීමේදී ඇතැම් ජපන් සමාගම් තවත් පාර්ශ්වයක් සමග ගනුදෙනු කිරීමේ දී කිසිදු අවස්ථාවක අල්ලස් ලබාදීම් කොමිස් මුදල් ලබාදීම් ආදී වංචනික කටයුතු වලට සම්බන්ධ නොවන බැවින් එවැනි කටයුතුවලට ඉඩ නොතබන ලෙසත් අකියෝ ඉසොමාටා මහතා පෙන්වා දී තිබුණා.
මීට පෙර ශ්රී ලංකාව සමග ගනුදෙනු කිරීමේදී ජපන් සමාගම් විවිධාකාරයේ ගැටලුවලට මුහුණ දුන් බව ජපන් තානාපතිවරයා එහිදී සිහිපත් කර තිබෙනවා.
දූෂණයට පිටුදැකීමේ අරමුණෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දූෂණ විරෝධි ක්රියාකාරී සැළැස්මක් ආරම්භ කිරීම ගැන තමන් සතුටට පත්ව සිටින බවත් එවැනි දූෂණ විරෝධි සැළසුම් ක්රියාත්මකවීම ඉතා වැදගත් බව තමා විශ්වාස කරන බවද ජපාන තානාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කරනවා.
