විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස්වරයා අතර හමුවක් එම අමාත්‍යාංශයේ දී අද (14) පැවැත්විණි.
පදනම් විරහිත ජන සංහාර චෝදනා සහ එවැනි ස්මාරකයක් ඉදිකිරීම සඳහා අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධතාවය අමාත්‍යවරයා විසින් කැනේඩියානු මහකොමසාරිස්වරයාට දැනුම් දී තිබේ.
එවැනි ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රජාවන් අතර ජාතික සමගිය, සාමය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා රජය අඛණ්ඩව දරන උත්සාහයන්ට බාධාවක් සහ සංකීර්ණා ඇති කරන බව ද අමාත්‍යවරයා තවදුරටත් මහකොමසාරිස්වරයාට අවධාරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ පැවැති යුද ගැටුම්වල අවසාන අදියරේදී ජන සංහාරයක් සිදුකළ බවට එල්ල වන චෝදනාව ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් කිසිදු විශ්වසනීය අධිකාරියක් විසින් සනාථ නොකරන ලද බවත් එය නොමඟ යවන තොරතුරු මත පදනම් වූවක් බවත් ශ්‍රී ලංකා රජය පවසයි.
ශ්‍රී ලංකාව මෙම අසත්‍ය ආඛ්‍යානය තරයේ ප්‍රතික්ෂේප කරන අතර එය ප්‍රධාන වශයෙන් කැනඩාව තුළ මැතිවරණ වාසි ලබාගැනීම සඳහා ප්‍රචාරය කර ඇති බවට විශ්වාස කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදුකළ බවට කිසිදු අනාවරණය කර ගැනීමක් කැනඩා රජය විසින් සිදුකර නොමැති බව 2021 වසරේ අප්‍රේල් මාසයේදී කැනඩාවේ විදේශ කටයුතු, වෙළෙඳ හා සංවර්ධන දෙපාර්තමේන්තුව නිල වශයෙන් තහවුරු කර තිබේ.
ඊට අමතරව, කැනඩාව විසින් 2006 වසරේදී දෙමළ ඊළාම් විමුක්ති කොටි, ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරනු ලැබූ අතර 2024 වසරේ ජුනි මාසයේදී මෙම නාමය නැවත තහවුරු කරන ලදී.
කැනඩාවේ බ්‍රැම්ප්ටන් නුවර චින්ගුඅකවුසි උද්‍යානයේ ඊනියා දෙමළ ජන සංහාර ස්මාරකයක් ඉදිකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය පුන පුනා දැඩි විරෝධතා පළ කර ඇත.
