FalconFeeds.io වෙබ් අඩවියට අනුව, ශ්‍රී ලංකාවේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සයිබර් ප්‍රහාරක කණ්ඩායමක් (Cloak ransomware) විසින් ඉලක්ක කර ඇති බව වාර්තා වේ.
එහිදී කිසියම් දත්තයක් අවදානමට ලක් වී තිබේද නැතහොත් කප්පම් මුදලක් ඉල්ලා තිබේද යන්න ඇතුළුව, මෙම ප්‍රහාරයේ වැඩිදුර තොරතුරු තවමත් තහවුරු කර නොමැත.
මේ සම්බන්ධයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තුමේන්තුව අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකරමින් පවතින බව වාර්තා වේ.
මෙම නවතම තර්ජනයෙන් පසුව කඩිනම් පියවර ගන්නා ලෙස සයිබර් ආරක්ෂණ විශ්ලේෂක අසේල වෛද්‍යලංකාර බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, එම අධීක්ෂණ වේදිකාව (FalconFeeds.io) මීට පෙර 2025 මාර්තු මාසයේදී කාගිල්ස් බැංකුව සම්බන්ධ දත්ත උල්ලංඝනයක්ද පෙන්වාදී ඇති බව සඳහන් කරමිනි.
මේ අතර FalconFeeds.io සිය නිල X ගිණුම හරහා ද එම අනවසර ඇතුලු වීම පිළිබඳ දැනුවත් කර ඇති අතර එහි සඳහන් වන්නේ, ශ්‍රී ලංකාවේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඉකුත් අප්‍රෙල් 02 සහ මැයි 26 යන දිනවල දී මෙම අනවසර ඇතුළු වීමට ග්‍රහණය වී ඇති බවයි.
ඒ අනුව මැයි 26 වැනි දින සිදු වූ අනවසර ඇතුළු වීමේ දී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ දත්ත ගොනුවට අයත් ගිගා බයිට් 617 (GB) ක දත්ත ප්‍රමාණයක් අඳුරු වෙබ් අවකාශයට මුදා හැර ඇති බව ද FalconFeeds.io පවසනවා.
මෙම Cloak ransomware කණ්ඩායම, සංවේදී දත්ත සංකේතනය කිරීම සහ විකේතන යතුරු සඳහා කප්පම් ගෙවීම් ඉල්ලා සිටීම සඳහා සහ සොරකම් කරන ලද තොරතුරු හෙළි නොකිරීමෙන් වින්දිතයන්ගෙන් කප්පම් ගැනීම සඳහා ප්‍රසිද්ධය.
