ශ්‍රී ලාංකීය ජනතාව ශිෂ්ට සම්පන්න ජාතියක් බවට පත් වීමට බුදු දහම සමඟ සිදුවූ පරිවර්තනීය වෙනස ඉවහල් වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, “අනුබුදු දහමින් ලොවම නිවේවා” තේමාව යටතේ ඓතිහාසික මිහින්තලා පුද බිමේදී ඊයේ (10) පැවති ජාතික පොසොන් උත්සවයට එක් වෙමිනි.
ශ්‍රී ලාංකේය ජාතිය ශිෂ්ට සම්පන්න පරිවර්තනයකට ගෙන ගිය මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය සහ මිහින්තලාව අමතක කර ජාතික පොසොන් උත්සවය සැමරිය නොහැකි බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
එම නිසා මෙවැනි අධ්‍යාත්මික වටිනාකම් සහිත උරුමය ඇති භූමිය සුරක්ෂිත කොට මතු පරපුර වෙනුවෙන් රැක ගැනීම රාජ්‍යයක වගකීම බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
එම වගකීම ඉටු කළ හැක්කේ මහ පොළොව සමඟ ඓන්ද්‍රීය සබඳතාවක් පවතින පුරවැසියන්ට මිස පොළොවට උඩින් පාවෙන මිනිසුන්ට නොවන බව සඳහන් කළ ජනාධිපතිවරයා අනුරාධපුර නගරය නැවත ප්රතිශ්ඨාපනය කිරීමේ වැඩසටහන ආරම්භ කර ඇති බවද කියා සිටියේය.
ථෙරවාද බෞද්ධ දර්ශනයේ හා සම්ප්රදායේ කේන්ද්‍රස්ථානයක් බවට අපේ රට පත් වීමේ ආරම්භය සනිටුහන් වූයේ අනුබුදු මිහිදු හිමියන්ගේ ලංකාගමනය සමඟ බවත්, සමාජ පරිවර්තනයක් සමඟ අධ්‍යාත්මික ප්රබෝධයක් ජනිත කිරීමට හේතු වූ එම අසිරිමත් සිදුවීම හුදු ආගමික අර්ථයෙන් ඔබ්බට ගිය අප රටෙහි සංස්කෘතික, සමාජයීය හා දේශපාලනික ආදී සෑම අංශයකම වඩා දියුණු සැකැස්මක් නිර්මාණය කිරීමට සමත් වී තිබෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
එම සමාජය නැවත ලක් පොළොව මත ප්රතිශ්ඨාපනය කරමින් රටට ඇවැසි ආචාරධාර්මික, සමාජයීය සහ පාරිසරික වශයෙන් නව ආකල්ප සහිත නූතන ශිෂ්ටසම්පන්න රාජ්‍යය ගොඩනැඟීමේ පරම වගකීම අත්නොහැර ඉටු කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අවධාරණය කළේය.
“නමුත් මේ වනවිට එම සමාජ යාන්ත්‍රණය බිඳවැටී තිබෙනවා. පොලිසියේ ඇතැමුන් අපරාධකරුවන් ආරක්ෂා කරන තත්ත්වයට පත්වෙලා. ආගමන විගමන දෙපාර්තමේන්තුව සමහර නිලධාරීන් නීති විරෝධී ගමන් බලපත්‍ර නිකුත් කරන තැනට පත්වෙලා. පතාල නායකයින්ට ගුවන්ගමන් බලපත්‍ර නිකුත් කර තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඇතැමුන් නීති විරෝධී ලෙස හිරකරුවන්ට නිදහස ලබා දී තිබෙනවා. මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් නීති විරෝධී වැඩ කර තිබෙනවා. මේ ආයතන පිළිබඳ පුරවැසියා සිටින්නේ සතුටුදායක මානසික තත්ත්වයකින් නොවෙයි. එම නිසා පුරවැසියාගේ පුරවැසි වගකීම වර්ධනය කිරීම සඳහා ශිෂ්ට සම්පන්නභාවය රැගෙන ආ යුතුයි. ඒ සඳහා බෞද්ධ දර්ශනය තුළින් මඟපෙන්වීමක් ලබා ගත හැකියි.”
ශිෂ්ට සම්පන්න ජාතියක් වශයෙන් අප මේ රාජ්‍ය ආයතන නැවත ගොඩනැගීම සඳහා කටයුතු කරනවා. එම කාර්ය අත් නොහැර සිදු කිරීමට පොදු පුරවැසියාගේ සහයෝගය අවශ්‍යයි. මේ පරිහානික යුගය අවසන් කර ජයග්‍රාහී භෞතික සහ ආධ්‍යාත්මික දියුණු ජීවන තත්ත්වය වෙත පරිවර්තනය කළ යුතුයි.
