අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් පත්කරන ලද ‘අධ්‍යාපන සභාව’ පිහිටුවීම පිළිබඳ අනු කාරක සභාව එහි සභාපති කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රථමවරට රැස්ව තිබේ.
මෙහිදී ‘අධ්‍යාපන සභාව’ පිහිටුවීමට අදාළව අනු කාරක සභාව විසින් ගතයුතු ක්‍රියාමාර්ග සහ අනු කාරක සභාවේ අරමුණ පිළිබඳව අදහස් දක්වමින් එහි සභාපති නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ රටේ අධ්‍යාපනය ක්ෂේත්රයේ ගැටළු විසඳීමට සහ අධ්‍යාපන වෘත්තීයමයභාවය ඉහල නැංවීම අරමුණු කරගත් අධ්‍යාපන සභාව පිහිටුවීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට මෙම අනු කාරක සභාව බලාපොරොත්තු වන බවයි.
විශේෂයෙන් ගුරු සේවය, විදුහල්පති සේවය, අධ්‍යාපන පරිපාලන සේවය, ගුරු අධ්‍යාපනඥ සේවය සහ ගුරු උපදේශක සේවය යන අංශ පහ තුළ පවතින ගැටලු නිරාකරණය කිරීම මෙහි මූලික අරමුණ බව ද සභාපතිවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මේ අතර ‘අධ්‍යාපන සභාව’ පිහිටුවීමට අදාළව අමාත්‍ය මණ්ඩල අනුමතිය ලබා ගැනීම සඳහා නිර්දේශ ලබා දීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කමිටුවක් මේ වන විට පත් කර ඇති අතර අදාළ කමිටුව සහ පාර්ලිමේන්තුවේ මෙම අනු කාරක සභාව එක්ව රැස්වී මූලික කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමට කාරක සභාවේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා යෝජනා කළේය.
