මෑත කාලයේ ආණ්ඩුවක් ප්රාග්ධන වියදම් ලෙස වෙන් කළ විශාලම මුදල වන රුපියල් බිලියන 1,400කට ආසන්න මුදලක් මෙවර අයවැයෙන් සංවර්ධන කටයුතු සඳහා වෙන් කර තිබෙන බවත්, මෙම වසර අවසන් වීමට පෙර එම ප්රතිපාදන නිසි පරිදි වැය කරමින් අපේක්ෂිත ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීමට දායකවීම දේශපාලන අධිකාරියේ මෙන්ම රාජ්ය නිලධාරින්ගේද වගකීම බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
දේශපාලන අධිකාරිය සහ රාජ්ය නිලධාරින් විසින් ගනු ලබන තීන්දූ තිරණවල වින්දිතයන් බවට පත්ව ඇත්තේ ඊට කිසිදු සම්බන්ධයක් නොමැති පොදු ජනතාව බව පෙන්වා දුන් ජනාධිපතිවරයා තවදුරටත් ඊට ඉඩ නොතැබිය යුතු බවද අවධාරණය කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ, ඊයේ (11) පස්වරුවේ මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේදී පැවති මාතර දිස්ත්රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමිනි.
මේ වසරේ 5%ක ආර්ථික වර්ධන වේගයක් රජය අපේක්ෂා කරන බවත්, රාජ්ය ආයෝජන ඉහළ යාම ආර්ථික වර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා එයින් රටේ සංවර්ධන කාර්යය පණ ගැන්වීමට හැකියාව ලැබෙන බවද පෙන්වා දුන්නේය.
රජය වෙන් කර තිබෙන ප්රාග්ධන වියදම් නිසි පරිදි වැය කිරීමට අපොහොසත් වුවහොත් එම චක්රය බිඳ වැටෙන බවත්, එබැවින් මෙම ප්රතිපාදන නිසි පරිදි වැය කිරීමට සියලුදෙනා කැප විය යුතු බවත් ප්රකාශ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මීට පෙර ප්රාග්ධන වියදම් ලෙස වෙන් කළ ප්රතිපාදන, එම ප්රමාණයෙන්ම, නියමිත කාලවලදී නොලැබුණු ඉතිහාසයක් රටේ තිබූ බවද සිහිපත් කළේය.
