ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ලෙස වසර හතරකට ආසන්න කාලයක් සේවය කළ ජූලි චන්ග් (Julie Chung) මහත්මිය එළඹෙන ජනවාරි 16 වැනිදා සිය ධුරයෙන් සමුගෙන දිවයිනෙන් පිටත්ව යන බව තහවුරු කර තිබේ.
2022 වසරේ පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සිය රාජකාරි ආරම්භ කළ ඇය, මෙරට දේශපාලනික සහ ආර්ථික වශයෙන් ඉතා තීරණාත්මක කාලවකවානුවක අමෙරිකානු නියෝජිතවරිය ලෙස සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළාය.
සිය සේවා කාලය නිමා කරමින් විශේෂ පණිවිඩයක් නිකුත් කර ඇති ජූලි චන්ග් මහත්මිය සඳහන් කර ඇත්තේ, තම සේවා කාලයේ පළමු දිනයේ සිටම ප්‍රධාන අරමුණ වූයේ අමෙරිකානු අවශ්‍යතා ප්‍රවර්ධනය කිරීම සහ අමෙරිකානු ජනතාවට ප්‍රතිඵල ලබා දෙන සබඳතාවක් ගොඩනැගීම බවයි.
නිදහස්, විවෘත සහ ආරක්ෂිත ඉන්දු-ශාන්තිකර කලාපයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කිරීමට හැකි වීම පිළිබඳව ඇය සිය සතුට පළ කර ඇත. තමා ශ්‍රී ලංකාවේ ගත කළ සෑම මොහොතක්ම ආදරයෙන් සිහිපත් කරන බවත්, දෙරට අතර සබඳතාව තවදුරටත් ශක්තිමත් වනු ඇති බවත් ඇය වැඩිදුරටත් පවසා තිබේ.
ජූලි චන්ග් මහත්මිය දිවයිනෙන් පිටත්ව යාමෙන් පසු නව තානාපතිවරයෙකු පත්ව එන තෙක්, නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ජේන් හවෙල් (Jayne Howell) මහත්මිය වැඩබලන තානාපතිවරිය ලෙස කටයුතු කිරීමට නියමිතය.
ජූලි චන්ග් මහත්මියගේ සේවා කාලය තුළ අමෙරිකානු රජය හරහා ශ්‍රී ලංකාවට හිමි වූ ආර්ථික ආධාර සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ පැවති සාකච්ඡාවලදී ඇය දැක්වූ මැදිහත්වීම කැපී පෙනෙන සන්ධිස්ථාන ලෙස සැලකේ.
