Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලසන්ත වික්‍රමතුංගගේ ඝාතකයින් කවුදැයි අපි දන්නවා – ලාල් වික්‍රමතුංග

11 months ago

ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය පිටුපස සිටින පුද්ගලයන් පිළිබඳව තමන් නිශ්චිතවම දන්නා බව ඔහුගේ සොහොයුරු ලාල් වික්‍රමතුංග මහතා පවසනවා.

ලසන්ත ඝාතනය කර අදට (08) වසර 17ක් සැපිරීම නිමිත්තෙන්, අද පෙරවරුවේ පැවති ගුණානුස්මරණයෙන් අනතුරුව  මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, වසර 17ක් ගතවී ඇතත් සාධාරණය ඉටුනොවීම පිළිබඳ දැඩි කනගාටුවක් පවතින බවයි.

නමුත්, වත්මන් පාලනය යටතේ විමර්ශන සම්බන්ධයෙන් අලුත් බලාපොරොත්තුවක් මතු වී ඇති බව ලාල් වික්‍රමතුංග මහතා පවසනවා.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළුව වසර හයක කාලයක් තුළ මාධ්‍යවේදීන් 45 දෙනෙකු ඝාතනය වූ බවත්, එම කිසිදු ඝාතනයකට අදාළව මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නොමැති බවත් ලාල් වික්‍රමතුංග මහතා මෙහිදී පෙන්වාදුන්නා.

“මේ පරීක්ෂණ නොමග යවන්න මුල සිටම පොලිසිය, හමුදාව සහ දේශපාලනඥයන් විවිධ උත්සාහයන් ගත්තා. දේශපාලන අධිකාරිය තුන්වන වරටත් වෙනස් වී ඇති මේ මොහොතේ, ජනතාව දැනුවත් කළ ලේඛකයින්ට අත් වූ මේ ඉරණමට සාධාරණයක් ඉටු කිරීමේ වගකීම රජය සතුයි.”

පසුගියදා කිලිනොච්චියේ පැවති සැමරුම් උත්සවයක් පිළිබඳවද ලාල් වික්‍රමතුංග මහතා මෙහිදී සිහිපත් කළ අතර දේශපාලනඥයන්ට කළ නොහැකි වූ උතුර සහ දකුණ යා කිරීම, ඝාතනයට ලක්වූ ලේඛකයින්ගේ මතකය හරහා සිදු වී ඇති බව ඔහු පැවසුවා.

කෙසේවෙතත් ලසන්ත වික්‍රමතුංගගේ ඝාතකයින් කවුදැයි පවුලේ සාමාජිකයන් ලෙස තමන් දන්නා නමුත්, සාක්ෂි ඉදිරිපත් කිරීමේ වගකීම විමර්ශන නිලධාරීන් සතු බව ඔහු අවධාරණය කළා.  

ඔහු පවසන්නේ, වර්තමානයේ විමර්ශන යම් ප්‍රගතියක් අත්කරගෙන ඇති බවත්, විමර්ශනවලට අදාළ නව සාක්ෂි කොටසක් ලැබී ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

“ලබන වසරේ හෝ මේ ඝාතන සම්බන්ධයෙන් ස්ථිර ප්‍රතිඵලයක් හෝ පරීක්ෂණවල පැහැදිලි දිශානතියක් දකින්නට ලැබේවි යැයි අපි ප්‍රාර්ථනා කරනවා,”