ශ්‍රී ලංකා ඉතිහාසයේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව වැඩිම නිවාස ප්‍රමාණයක් ඉදි කෙරෙන වසර බවට 2026 වසර පත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ ‘Rebuilding Sri Lanka’ වැඩසටහන යටතේ ක්‍රියාත්මක ‘PROJECT 5M’ නිවාස ව්‍යාපෘතිය අද (09) පෙරවරුවේ ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේදී සමාරම්භ කරමිනි.
පසුගියදා ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත් නිවාස 20,000 – 25,000ත් අතර ප්‍රමාණයක් අලුතින් ඉදි කිරීමට රජය සැලසුම් කර ඇත. මීට පෙර නිවාස සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබූ නිවාස 31,000 ද සමඟින් මෙම වසර තුළ මෙරට නිවාස 50,000ත් 55,000ත් අතර ප්‍රමාණයක් ඉදිවනු ඇති බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
දිට්වා සුළි කුණාටුවෙන් පූර්ණ ලෙස නිවාස අහිමි වූ ජනතාව වෙනුවෙන් වන්දි ප්රදානය සහ නව නිවාස ඉදිකිරීමේ පළමු අදියර අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ විය. ඒ අනුව ගල්නෑව, පලාගල, පලුගස්වැව, ඉපලෝගම සහ තිරප්පනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිවාස 26ක් වෙනුවෙන් මුල්ගල් තැබීම සහ වන්දි ප්රදානය ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ:
“ලංකා ඉතිහාසයේ කිසිදු අවස්ථාවක මෙවැනි විශාල වන්දි ලබා දෙමින් ජනතාව බලා ගැනීමට පාලකයන් මැදිහත් වී නැහැ. වත්මන් රජය ජනතාව බලාගත යුතු බවට තීන්දු කළ රජයක්. ව්‍යසනයට මුහුණ දුන් ජනතාවට තිබුණාට වඩා උසස් ජීවන තත්ත්වයක් ගොඩනඟා දීමට අප නියත වශයෙන්ම කටයුතු කරනවා.”
