Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉරානයේ විරෝධතාවලින් මියගිය සංඛ්‍යාව 500 ඉක්මවයි

10 months ago

ඉරාන රජයට එරෙහිව සති දෙකක කාලයක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වන මහජන විරෝධතා හමුවේ පුද්ගල මරණ සංඛ්‍යාව අද (12) අලුයම වන විට 500 ඉක්මවා ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

වාර්තා වන පරිදි මියගිය පිරිසෙන් 490ක්ම විරෝධතාකරුවන් වන අතර, ආරක්ෂක අංශ නිලධාරීන් 48 දෙනෙකුට ද ජීවිත අහිමි වී තිබේ. ටෙහෙරාන් නුවර රෝහල් ආරංචි මාර්ග BBC සේවයට පවසා ඇත්තේ රෝහල් වෙත රැගෙන එන බහුතරයක් පිරිස අවුරුදු 20ත් 25ත් අතර වයසේ පසුවන තරුණයන් බවයි.

ඔවුන්ගෙන් වැඩි පිරිසකට හිසට හෝ පපු ප්‍රදේශයට වෙඩි වැදී ඇති අතර, රෝහල්වල පවතින අධික රෝගී තදබදය හේතුවෙන් මූලික ප්‍රතිකාර ලබාදීමට පවා වෛද්‍යවරුන් දැඩි අසීරුතාවයකට පත්ව ඇත. මේ වන විට රෝහල්වල මෘත ශරීරාගාර ද මළ සිරුරුවලින් පිරී ගොස් ඇති බව රෝහල් බලධාරීන් තහවුරු කරයි.

විරෝධතා මැඩපැවැත්වීමේ සහ තොරතුරු හුවමාරුව වැළැක්වීමේ අරමුණින් ඉරාන රජය විසින් පනවනු ලැබූ අන්තර්ජාල සැපයුම් කප්පාදුව තවදුරටත් ක්‍රියාත්මක වේ. මේ හේතුවෙන් රට අභ්‍යන්තරයේ සිදුවන ඇතැම් සිදුවීම් ලෝකයට වාර්තා වීම ද සීමා වී ඇත.

මේ අතර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ‘ටෘෘත් සෝෂල්’ (Truth Social) ගිණුම හරහා ඉරාන විරෝධතාකරුවන්ට සහාය දෙන බවට කළ ප්‍රකාශයත් සමඟ කලාපීය නොසන්සුන්තාව තවත් උත්සන්න වී තිබේ.

ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඉරාන රජය අවධාරණය කර ඇත්තේ අමෙරිකාව ඉරානයට කිසියම් හෝ ප්‍රහාරයක් එල්ල කළහොත්, ඊට ප්‍රතිප්‍රහාර ලෙස ඊශ්‍රායලය සහ කලාපයේ පවතින අමෙරිකානු හමුදා කඳවුරු වෙත ප්‍රහාර එල්ල කිරීමට පසුබට නොවන බවයි.