13 හැවිරිදි බාල වයස්කාර දැරියක දූෂණය කිරීම සහ ඇයට මරණීය තර්ජන එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 19 හැවිරිදි තරුණයෙකු හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු හලාවත, බංගදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
දූෂණයට ලක්වූ දැරියගේ මව සහ සැකකාර තරුණයා එකම ආයතනයක සේවය කර ඇති අතර, එම හඳුනාගැනීම මත සැකකරු සහ දැරිය අතර ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනැගී ඇත. පසුගිය සැප්තැම්බර් මස 26 වනදා දැරිය පදිංචිව සිටි කුලී නිවසේදී සැකකරු විසින් ඇයව අපයෝජනයට ලක් කර ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
මෙම සිද්ධිය කිසිවෙකුට හෝ පැවසුවහොත් දැරියව මරාදමන බවටද සැකකරු එහිදී තර්ජනය කර ඇත.
පසුව මෙම සම්බන්ධතාව නතර වී ඇති අතර, දැරිය වෙනත් තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ආරම්භ කර තිබේ. එම අවස්ථාවේදී සැකකරු විසින් දැරියගේ නව පෙම්වතාට තමන් සහ ඇය අතර පැවති ලිංගික සබඳතා පිළිබඳව පවසා ඇත.
නව පෙම්වතා මේ පිළිබඳව දැරියගෙන් විමසීමත් සමඟ ඇය දැඩි ලෙස කම්පනයට පත්ව හඬමින් සිටින අයුරු නිවෙස් හිමිකාරිය දැක තිබේ. ඇය විසින් සිදුකළ ප්‍රශ්න කිරීමේදී දැරිය තමන්ට සිදුවූ අතවරය පිළිබඳව හෙළි කර ඇති අතර, අනතුරුව නිවෙස් හිමිකාරිය මේ පිළිබඳව දැරියගේ මව දැනුවත් කර ඇත.
මව විසින් හලාවත පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකරු හලාවත මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
හලාවත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
