වැලිකන්ද ප්‍රදේශයේදී පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් ඊයේ (12) වැනිදා පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකුට පොලිස් මාර්ග බාධකයකදී නතර කරන ලෙස අණ කර ඇතත් ඔවුන් එම අණ නොතකා වේගයෙන් පලාගොස් ඇති බවයි.
වැලිකන්ද කුඩා පොකුණ ප්‍රදේශයේදී පොළොන්නරුව කොට්ඨාශ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් ඒ මොහොතේ රථ වාහන රාජකාරිවල නිරතව සිට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.
එහිදී හිස් වැසුම් නොමැතිව ගමන් කළ යතුරුපැදිකරුවෙකු අණ නොතකා යාම හේතුවෙන් ලුහුබැඳ අත්අඩංගුවට ගැනීමට ගොස් තිබුණා.
ඒ අවස්ථාවේ එම යතුරුපැදිකරු නිවසට ගොස් කඩුවක් රැගෙන එම නිලධාරීන්ට පහරදීමට උත්සාහ කර තිබෙන අතර එහිදී පොලිස් නිලධාරීන් විසින් සිදු කරන ලද වෙඩි තැබීමකදී සැකකරු මිය ගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ ගල්කන්ද, සිංහපුර ලිපිනයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙක්.
අදාල සැකකරුට මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් චෝදනා කිහිපයක් වැලිකන්ද පොලිස් ස්ථානයේ ගොනු වී ඇති බව සඳහන්.
රථවාහන අංශයේ නිලධාරීන්ගේ රාජකාරී ගිනි අවියෙන් මෙම සැකකරුට වෙඩි තබා ඇති අතර සැකකරු රෝහල් ගත කිරීමට යාමේදී මිය ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (12) රාත්‍රී වැලිකන්ද රෝහලේ පවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ.
