Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු නියෝජ්‍ය පොලිස්පතිගේ දඬුවම යළි ස්ථීර කරයි

10 months ago

නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි මහතාට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියම කළ වසර තුනක සිරදඬුවමට එරෙහිව ඔහු විසින් කොළඹ මහාධිකරණයට ගොනුකරන ලද ප්‍රතිශෝධන අයැදුම්පත ප්‍රතික්ෂේප කරමින් මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය ස්ථීර කළා.

පෙරකී නියෝග බලරහිත කර තමන් සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලද නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ගොනුකර තිබූ අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන හා සම්පත් විජේරත්න යන මහත්වරුන් විසින් පසුගිය 12 වැනිදා එම නියෝගය නිකුත් කර තිබෙනවා.

විත්තිකරු 2007 වසරේ මාතලේ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා ඔහු යටතේ සේවය කළ ග්‍රාම ආරක්ෂක නිලධාරීන් යොදවා ගත් බවට චෝදනා එල්ල වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනය කළ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව චෝදනා 15ක් යටතේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

එම නඩුව විභාග කළ එවකට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කළ වර්තමාන මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය චෝදනා හයකට ඔහු වරදකරු කරමින් වසර හයක සිරදඬුවම් නියම කර එය වසර තුනකින් ගෙවී යන ලෙස ලබාදීමට නියෝග කර තිබෙනවා.

එයට අමතරව රුපියල් ලක්‍ෂ තුනක දඩයක්ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය 2019.07.02 වැනිදා ලබාදුන් තීන්දුව මගින් නියම කර තිබුණා.

එම මහෙස්ත්‍රාත් අධිකරණ තීන්දුවට එරෙහිව හෙක්ටර් ධර්මසිරි මහතා ගොනුකර තිබූ ප්‍රතිශෝධන අයැදුම්පත මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබු අතර ඔහු සිය නීතිඥවරුන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට එම පෙත්සම ගොනුකර තිබෙනවා.

එම පෙත්සම කැඳවූ අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්‍ෂ (නීති) අනුෂා සම්මන්දප්පෙරුම මහත්මිය කරුණු දක්වමින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විසින් ඔහුට එම දඬුවම නියමකර ඇත්තේ සියලු සාක්ෂි සලකා බැලීමෙන් අනතුරුව බවත්, තම කොමිෂන් සභාව විසින් ගොනුකර තිබූ චෝදනා 15 අතරින් විත්තිකරු වරදකරු කර ඇත්තේ චෝදනා හයකට පමණක් වන අතර සෙසු චෝදනා නවයෙන්ම ඔහු නිදොස් කොට නිදහස් කිරීම මගින්ම මහෙස්ත්‍රාත්වරිය ලබාදුන් තීන්දුව සාධාරණ බව පෙනී යන බව කියා සිටියා.

විත්තිකරු ගොනු කළ ප්‍රතිශෝධන අයැදුම්පතද විභාග කළ මහාධිකරණය, විත්තිකරුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත්තේ මනාව සලකාබැලීමෙන් අනතුරුව බැවින් එම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම ප්‍රතික්ෂේප කරන ලෙසටද අනුෂා සම්මන්දප්පෙරුම මහත්මිය විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියා.