Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්ධන සැඟවූ බේරුවල ප්‍රදේශයේ පිරවුම්හලක් වටලයි

10 months ago

පාරිභෝගිකයන් මුළා කරමින්, සාමාන්‍ය 92 පෙට්‍රල් තොග සඟවා තබා වැඩි මිලට යුරෝ 3 පෙට්‍රල් අලෙවි කළ බේරුවල ප්‍රදේශයේ ප්‍රධාන ඉන්ධන පිරවුම්හලක් වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් සමත්ව තිබේ.

කළුතර දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය වෙත ලැබුණු තොරතුරු අනුව ඊයේ (14) රාත්‍රියේ මෙම හදිසි වැටලීම සිදුකර ඇත.

රාත්‍රී කාලයේදී ඉන්ධන ලබාගැනීමට පැමිණෙන වාහන හිමියන්ට පිරවුම්හලේ 92 පෙට්‍රල් නොමැති බව පවසා ඔවුන් අසීරුතාවට පත් කරමින්, මිලෙන් වැඩි යුරෝ 3 (Euro 3) පෙට්‍රල් පමණක් අලෙවි කරන බවට අධිකාරියට පැමිණිලි ලැබී තිබුණි.

වැටලීම සිදුකරන අවස්ථාවේදී පිරවුම්හල් පරිශ්‍රය පරීක්ෂා කළ නිලධාරීන්, පාරිභෝගිකයන්ට ලබා නොදී රහසිගතව සඟවා තබාගෙන තිබූ 92 පෙට්‍රල් ලීටර් 6,400ක පමණ දැවැන්ත තොගයක් සොයා ගැනීමට සමත් විය.

වැටලීමේදී අනාවරණය වූ වඩාත් සුවිශේෂී කරුණ වන්නේ, 92 පෙට්‍රල් නොමැති බව පවසා වැඩි මිලට යුරෝ 3 අලෙවි කරන ලෙස අදාළ ඉන්ධන පිරවුම්හල් සමාගමේ නිලධාරීන් විසින්ම පිරවුම්හල් සේවකයින්ට උපදෙස් දී ඇති බවයි. මෙය පිරවුම්හල් පාර්ශ්වය විසින් නිලධාරීන් හමුවේ පිළිගෙන තිබේ.

දැනට සොයාගත් ඉන්ධන තොගය නිලධාරීන් භාරයට ගෙන පිරවුම්හලට මුද්‍රා තබා ඇති අතර, මේ සම්බන්ධයෙන් වන නඩුව අද (15) දින කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කිරීමට නියමිතය.