අවිස්සාවේල්ල – රත්නපුර ප්‍රධාන මාර්ගයේ මින්නාන හන්දිය ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක ගැටීමෙන් මෙහෙණින් වහන්සේ නමක් අපවත් වීමේ ශෝකජනක පුවතක් වාර්තා වේ.
ඊයේ (15) දින දහවල් කාලයේදී අවිස්සාවේල්ල සිට ඇහැළියගොඩ දෙසට ධාවනය වූ බස් රථයක් මින්නාන බස් නැවතුම්පොළේ නතර කර නැවත ගමන් ආරම්භ කර ඇත. එම අවස්ථාවේදී බස් රථයට ඉදිරියෙන් මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කළ මෙහෙණින් වහන්සේ නමක් බස් රථයේ ගැටී මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් බරපතල තුවාල ලැබූ මෙහෙණින් වහන්සේ වහාම ඇහැළියගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත. එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ අපවත් වී ඇති බව පොලිසිය තහවුරු කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ඇහැළියගොඩ පොලිසිය විසින් මෙහෙයවනු ලබයි.
