රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බළන්ගොඩ කස්සප හිමියන් ආරම්භ කර තිබූ මාරන්තික උපවාසය ඊයේ (15) පස්වරුවේ අවසන් කිරීමට පියවර ගෙන තිබේ.
අසිරිමලේ සේනාසන සංකීර්ණයේ අධිපති පනාමුරේ තිලකවංශ හිමියන් බන්ධනාගාරය වෙත වැඩම කර සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව උන්වහන්සේ මෙම තීරණයට එළඹි බව වාර්තා වේ.
වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කරමින් ත්රිකුණාමලය වෙරළ තීරයේ අනවසරයෙන් බුදු පිළිමයක් තැන්පත් කළ බවට එල්ල වූ චෝදනා මත බළන්ගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිසක් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය. එහිදී උන්වහන්සේ පමණක් ආහාර ගැනීම ප්රතික්ෂේප කරමින් උපවාසය ආරම්භ කර තිබුණි.
උපවාසය අතරතුර උන්වහන්සේ විසින් රජයට බල කර සිටි ප්රධාන කරුණු කිහිපයක් මෙසේය:
- ත්රිකුණාමලය වෙරළ සංරක්ෂණ කලාපයේ සහ සාම්බල්තිව් කලපුවේ ඇති අනවසර අන්යාගමික පල්ලි, කෝවිල් සහ අනීතික ඉදිකිරීම්වලට එරෙහිව වහාම නීතිය ක්රියාත්මක කිරීම.
- කන්දල්කාඩු, ගෝමරන්කඩවල සහ මොරවැව රක්ෂිත හෙළිපෙහෙළි කරමින් සිදුකරන අනීතික ජනපදකරණය නැවැත්වීම.
- 1983 වසරේදී නැගෙනහිරින් පලවා හැරුණු 97,000ක් වූ සිංහල ජනතාව නැවත එම ප්රදේශවල පදිංචි කරවීම.
- පදවි ශ්රීපුර වැනි සිංහල බහුතරයක් වෙසෙන ප්රදේශවලට වෙනත් ජාතික ප්රාදේශීය ලේකම්වරුන් පත් කිරීම අත්හිටුවීම.
ත්රිකුණාමලය, ශ්රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ බුදු පිළිමයක් තැන්පත් කිරීම සඳහා වහලයක් සකස් කිරීමේදී වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කළ බවට මොවුන්ට චෝදනා එල්ල වී තිබේ. ඒ අනුව බළන්ගොඩ කස්සප හිමියන් ඇතුළු හිමිවරුන් සිව්නම සහ තවත් පස්දෙනෙකු ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්රිකුණාමලය මහේස්ත්රාත් අධිකරණය නියෝග කර ඇත.
