ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවැත්වෙන 2026 ලෝක ආර්ථික සංසදයට (World Economic Forum) සමගාමීව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසාටෝ කන්දා (Masato Kanda) මහතා අතර නිල හමුවක් සිදුවිය.
ඩාවෝස්-ක්ලෝස්ටර්ස් හි WEF කොංග්රස් මධ්‍යස්ථානයේදී පැවැති මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන්මග පිළිබඳ වැදගත් කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු විය.
ශ්‍රී ලංකාව දැනට ක්‍රියාවට නංවමින් පවතින අඛණ්ඩ ආර්ථික හා පරිපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.රටේ වත්මන් ආර්ථික ස්ථාවරත්වය සහ අනාගත සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගය ලබාගත හැකි ආකාරය පිළිබඳව ද අදහස් හුවමාරු කරගෙන තිබේ.
“සංවාදයේ ආත්මයක්” (A Spirit of Dialogue) යන තේමාව යටතේ මෙවර පැවැත්වෙන්නේ ලෝක ආර්ථික සංසදයේ 56 වන වාර්ෂික රැස්වීමයි. මේ සඳහා රාජ්‍ය නායකයින්, බහුජාතික සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් සහ තාක්ෂණ නවෝත්පාදකයින් ඇතුළු ගෝලීය නායකයින් 3,000කට අධික පිරිසක් එක්ව සිටිති.
පසුගිය සඳුදා (19) දිවයිනෙන් පිටත්ව ගිය අග්‍රාමාත්‍යවරිය, මෙම සංචාරය අතරතුර ලොව ප්‍රධාන පෙළේ රාජ්‍ය නායකයින් සහ ගෝලීය මූල්‍ය ආයතනවල ප්‍රධානීන් සමඟ තවත් ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට ද සහභාගී වීමට නියමිතය.
