මහරෑ හොර රහසේ ගවයන් සොරාගෙන ලොරියකට පටවමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් එක් සැකකරුවෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව නාල්ල පොලිසිය පවසයි.
අද (25) අලුයම 2.35 ට පමණ නාල්ල පොලිස් වසමේ, ලෝලුවාගොඩ – තලහේන හන්දිය අසලදී මෙම වෙඩි තැබීම සිදුවී තිබේ.
මුර සංචාරයේදී හසු වූ ගව සොරකම
ප්රදේශයේ පවතින ගව සොරකම් මැඩපැවැත්වීම සඳහා පොලිසිය දිනපතා රාත්රී ජංගම මුර සංචාර ක්රියාත්මක කරන අතර, ඒ අනුව නාල්ල පොලිසියේ නිලධාරීන් තිදෙනෙකු අද අලුයම ත්රීරෝද රථයකින් ලෝලුවාගොඩ ප්රදේශය පරීක්ෂා කරමින් සිට ඇත. එහිදී තලහේන ගම්මානයට ඇතුළු වන මාර්ගය අසල සැකකටයුතු ලෙස නවතා තිබූ ලොරි රථයක් පරීක්ෂා කිරීමට යාමේදී පුද්ගලයින් පස් දෙනෙකු ගවයන් ලොරියට පටවමින් සිටිනු නිරීක්ෂණය වී තිබේ.
පොලිස් නිලධාරීන් එම ස්ථානයට ළඟා වනවාත් සමඟම, ලොරි රථයේ සිටි සැකකරුවෙකු පොලිස් නිලධාරීන්ට පහරදීමට උත්සාහ කර ඇත.
එහිදී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් සැරයන්වරයෙකු සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තැබීමක් සිදු කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ කඳාන, වීදි මාවත ප්රදේශයේ පදිංචි සැකකරුවෙකි. ඔහුගේ වම් අතට වෙඩි වැදී ඇති අතර, පොලිස් නිලධාරීන් විසින් ඔහුව වහාම මීරිගම රෝහලට ඇතුළත් කර තිබේ. පසුව වැඩිදුර ප්රතිකාර සඳහා සැකකරු කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත.
