Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

sri lanka police

මෙහෙම ගියොත් බන්ධනාගාර පිරිලා යයි! සෞඛ්‍ය අංශ වෙතින් තරුණ ජීවිත ගැන බරපතළ අනතුරු ඇඟවීමක්!

10 months ago

පසුගිය වසර 10ක කාලය තුළ වයස අවුරුදු 16ත් 22ත් අතර තරුණ පිරිසගේ අපරාධ චර්යාවන්ගේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන බව අධිකරණ මනෝ වෛද්‍ය විශේෂඥ තාරක ප්‍රනාන්දු මහතා පවසයි. ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට වසර 100ක් පිරීම නිමිත්තෙන් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, මෙරට සිදුකළ පර්යේෂණ හරහා මෙම තත්ත්වය හෙළි වී ඇති බවත් මෙය ලෝකය පුරාම දැකගත හැකි පොදු ප්‍රවණතාවක් බවත්ය.

ලංකාවේ 2015 සහ 2016 වසරවලට ආසන්න කාලසීමාවේ සංඛ්‍යාලේඛන දෙස බැලීමේදී, අධිකරණය මගින් වැරදිකරුවන් වී දඬුවම් නියම වූ තරුණයින්ගේ ප්‍රමාණය 200%කින් පමණ ඉහළ ගොස් ඇති බව වෛද්‍යවරයා මෙහිදී අනාවරණය කළේය. මෙය ඉතා ව්‍යසනකාරී තත්ත්වයක් බවත්, මෙම ප්‍රවණතාව පාලනය කිරීමට පියවර නොගතහොත් ඉදිරියේදී මෙරට බන්ධනාගාර පද්ධතිය වයස අවුරුදු 16ත් 22ත් අතර තරුණ පිරිස්වලින් පිරී යනු ඇති බවත් ඔහු අවධාරණය කර සිටියේය.

මානසික රෝගවලින් පෙළෙන පුද්ගලයින් අපරාධකරුවන් බවට සමාජය තුළ පවතින මතය සම්පූර්ණයෙන්ම මිථ්‍යාවක් බව පෙන්වා දුන් වෛද්‍ය තාරක ප්‍රනාන්දු මහතා, එවැනි පුද්ගලයින් දෙස විවෘත මනසකින් බලා අවශ්‍ය ප්‍රතිකාර සහ පුනරුත්තාපනය ලබා දීම අත්‍යවශ්‍ය බව සඳහන් කළේය. මෙම පිරිස් තුළ පවතින නිර්මාණාත්මක කුසලතා හඳුනාගෙන, ඔවුන් අපරාධ සඳහා යොදවන ශක්තිය ධනාත්මක කාර්යයන් සඳහා යොමු කිරීමේ හැකියාව පවතින බවත්, ඒ සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුගතව කටයුතු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

දකුණු ආසියාවේ විශාලතම අධිකරණ මනෝ වෛද්‍ය අංශය ශ්‍රී ලංකාවේ පිහිටා ඇති බව සිහිපත් කළ වෛද්‍යවරයා, එහි කාර්යභාරය පිළිබඳව ද කරුණු පැහැදිලි කළේය. ඒ අනුව, අධිකරණය මගින් යොමු කරන රෝගීන්ගේ අපරාධ චර්යා පිළිබඳ මනෝභාවය පරීක්ෂා කිරීම, අධිකරණයක නැවත විත්ති වාචික දීමේ හැකියාව සොයා බැලීම සහ සමාජ සුරක්ෂිතතාව තහවුරු කිරීම එම අංශය මගින් ප්‍රධාන වශයෙන් සිදු කරනු ලබයි.