2026 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමේ කටයුතු අද (29) දිවයින පුරා පිහිටි පාසල්වලදී සිදු කෙරේ.
මෙවර විශේෂත්වය වන්නේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සකස් කළ නව විෂය මාලාව පළමු ශ්‍රේණිය සඳහා මෙම වසරේ සිට ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබීමයි. පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීමේ ජාතික උත්සවය අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ අතුරුගිරිය ගුණසේකර විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතව ඇත.
පළමු ශ්‍රේණියට ඇතුළත් වන දූ දරුවන් වෙනුවෙන් විශේෂ සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, පොහොසත් රටක් තුළ පොහොසත් අධ්‍යාපනයක් ළඟා කර දීම රජයේ මූලික අරමුණ බවයි. කිසිදු දරුවෙකුගේ අධ්‍යාපනය තීරණය කරන සාධකය දෙමාපියන්ගේ ආර්ථික ශක්තිය නොවිය යුතු බවත්, මෙරට කිසිදු දරුවෙකු අධ්‍යාපනයෙන් පිටමං නොවිය යුතු බවත් ඇය සිය පණිවුඩය මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
මේ අතර, හය ශ්‍රේණිය සඳහා වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ලබන වසර දක්වා කල් දැමීමට තීරණය කළ ද, එමගින් කිසිදු සිසුවෙකුට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බව ද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය. ගාල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ පද්ධතියේ ගුණාත්මක බව තහවුරු කරමින් එම වෙනස්කම් ඉතා විධිමත්ව ඉදිරියට ගෙන යන බවයි.
