මින් ඉදිරියට රජයේ කිසිදු බඳවා ගැනීමක් සඳහා දේශපාලන මැදිහත්වීම් සිදු නොකරන බවත්, පූර්ණ විනිවිදභාවයකින් යුත් ක්‍රියාවලියක් අනුගමනය කරන බවත් බිමල් රත්නායක මහතා අවධාරණය කරයි.
පාසල් සංවර්ධන නිලධාරීන්ගේ ගැටලු සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් ඔහු කියා සිටියේ, වත්මන් රජය යටතේ සෑම බඳවා ගැනීමක්ම නීතිමය රාමුවක් තුළ පමණක් සිදුකිරීමට පියවර ගෙන ඇති බවයි.
ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව ගුරුවරුන් බඳවා ගත හැක්කේ තරග විභාගයකින් පමණක් බව පෙන්වා දුන් ඒ මහතා, විශ්වවිද්‍යාල ප්‍රවේශයට Z-Score එකක් අවශ්‍ය වන්නා සේම ගුරු සේවයට ඇතුළත් වීමටද නියමිත සුදුසුකම් සපුරා තිබීම අනිවාර්ය බවත්, එම නීතිය වෙනස් කිරීමට රජයේ සූදානමක් නොමැති බවත් සඳහන් කළේය.
අතීතයේ පැවති පත්වීම් ලබාදීමේ ක්‍රමවේදයන් දැඩි ලෙස විවේචනය කළ බිමල් රත්නායක මහතා, ඇතැම් අමාත්‍යවරුන් ලැගුම්හල්වල සිට පවා ගුරු පත්වීම් ලබාදී ඇති බවත්, වත්මන් විපක්ෂ නායකවරයාගේ පියාගේ පාලන සමයේදී කිසිදු සුදුසුකමක් නොබලා මෙලෙස පත්වීම් ලබාදී ඇති බවත් පැවසීය.
එම අක්‍රමවත් ක්‍රමවේදයන් නිසා පත්වීම් ලැබූ ගුරුවරුන් අදටත් විවිධ වෘත්තීය ගැටලුවලින් පීඩා විඳින බව පෙන්වා දුන් ඔහු, රාජපක්ෂ හෝ සජිත් ප්‍රේමදාස මහතාගේ ආණ්ඩුවක් පැවතියේ නම් මේ වන විට දැඩි දේශපාලන පළිගැනීම් පවා සිදුවිය හැකිව තිබූ බවද පෙන්වා දුන්නේය.
උපවාසයේ නිරත සංවර්ධන නිලධාරීන් පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, අග්‍රාමාත්‍යවරිය මේ සම්බන්ධයෙන් දැනටමත් සාකච්ඡා වාර කිහිපයක් පවත්වා ඇති බවයි.
ඇතැම් නිලධාරීන් විසඳුමක් නොලැබුණහොත් නියමිත විභාගයට පෙනී සිටීමට සූදානම් බව පවසා ඇති අතර, එය නිවැරදි ප්‍රවේශය බවද ඒ මහතා සඳහන් කළේය. වත්මන් රජය මෙතෙක් කිසිදු දේශපාලන පත්වීමක් සිදුකර නොමැති බවත්, තනතුරුවලට හිතවතුන් හෝ ගෝලයන් පත් කිරීමට කටයුතු කර නොමැති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
