පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස මිනීමැරීම සිදු කළ බවට චෝදනා කරමින්, හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට එරෙහිව නිකුත් කර තිබූ සිතාසියක් බලරහිත කිරීමට අභියාචනාධිකරණය අද (03) නියෝග කළේය. කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය විසින් 2022 වසරේදී නිකුත් කර තිබූ මෙම සිතාසිය බලරහිත කරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කරනු ලැබීය.
හිටපු ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලූ ධම්මික ගනේපොල, මායාදුන්නේ කොරයා, පී. කුමාරන් රත්නම්, ශෂී මහේන්ද්රන් සහ අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්රකාශයට පත් කරන ලදී.
කෙසේ වෙතත්, නව සාක්ෂි ඉදිරිපත් වන්නේ නම් කොටුව මහෙස්ත්රාත් අධිකරණය හමුවේ පවතින අදාළ පෞද්ගලික පැමිණිල්ල ඉදිරියට පවත්වාගෙන යාමට මෙම නඩු තීන්දුව බාධාවක් නොවන බවද විනිසුරු මඩුල්ල මෙහිදී අවධාරණය කළේය. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සිරිල් ගාමිණී පියතුමා සහ පාස්කු ප්රහාරයේ වින්දිතයකු වූ ජේසුරාජ් ගනේෂන් යන අය නම් කර තිබුණි.
පාස්කු ප්රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිගමන පදනම් කරගෙන සිරිල් ගාමිණී පියතුමා ඇතුළු පිරිස තමන්ට එරෙහිව මෙම පෞද්ගලික පැමිණිල්ල ගොනු කර තිබූ බව හිටපු ජනාධිපතිවරයා සිය පෙත්සමෙන් පෙන්වා දී තිබුණි. කොමිෂන් සභා නිගමන සාක්ෂි ලෙස සැලකිය නොහැකි බැවින්, ඒවා මත පදනම්ව තමන්ට සිතාසි නිකුත් කිරීමට මහෙස්ත්රාත්වරයා ගත් තීරණය නීතියට පටහැනි බව පෙත්සම්කරුගේ තර්කය විය.
