ශ්‍රී ලංකාවේ 78 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් බ්‍රිතාන්‍යයේ තෙවන චාල්ස් රජු, චීන ජනාධිපති ෂී ජින් පින් සහ අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙන්ම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සංතෝෂ් ජා ද විශේෂ සුබ පැතුම් පණිවිඩ නිකුත් කර තිබේ.
බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ, දෙරට අතර පවතින ගැඹුරු ඓතිහාසික සබඳතා සහ එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හරහා ගොඩනැගී ඇති සංස්කෘතික සබඳතා මෙම හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරන බවයි.
චීන ජනාධිපති ෂී ජින් පින් මහතා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය වෙත සුබ පැතුම් එක්කරමින් පවසා ඇත්තේ, ශ්‍රී ලංකාව සහ චීනය අන්‍යෝන්‍ය වශයෙන් සුහදශීලී මෙන්ම දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ අත්වන සහයෝගිතාවයක් පවත්වාගෙන යන හවුල්කරුවන් බවයි.
මීට අමතරව, අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාකෙරෝ රුබියෝ ද ශ්‍රී ලාංකික ජනතාවට සිය සුබ පැතුම් එක්කර ඇති අතර, දෙරට අතර පවතින සහයෝගීතාව ඉදිරියේදීත් අඛණ්ඩව පවතිනු ඇති බව ඔහුගේ නිවේදනයේ සඳහන් වේ.
මේ අතර, මෙරට 78 වැනි නිදහස් සැමරුමේ සතුට බෙදාගන්නා බවයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සංතෝෂ් ජා ද සුබ පැතුම් එක්කරමින් ප්‍රකාශ කර ඇත්තේ.
