Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය

10 months ago

දිවයිනේ පළාත් කිහිපයක ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද (05) සවස නිකුත් කරන ලද නවතම කාලගුණ අනාවැකියට අනුව, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලටත්, පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලටත් මෙම වැසි සහිත තත්ත්වය බලපානු ඇත.

විශේෂයෙන් ඌව පළාතේත් මඩකලපුව, අම්පාර, හම්බන්තොට, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මීට අමතරව උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද වැසි වාර කිහිපයක් ඇති වීමට ඉඩ පවතී.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. එහිදී රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට ද මිලිමීටර් 50 ඉක්මවූ තරමක තද වැසි අපේක්ෂා කෙරේ.

සුළං තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ උතුරු සහ වයඹ පළාත්වලත්, මාතලේ, ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර වේගයකින් යුත් තරමක තද සුළං ඇතිවිය හැකි බවයි. එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇතිවීමේ අවදානමක් පවතින බැවින්, එම අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.