Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විදුලිබල සේවකයින් වර්ජනයකට සැරසෙයි

9 months ago

ලංකා විදුලි බල මණ්ඩලය ඈවර කිරීමේ දිනය ප්‍රකාශයට පත් කිරීමට පෙර සිය ඉල්ලීම් ඉටු කිරීමට රජය අපොහොසත් වුවහොත්, පූර්ව දැනුම් දීමකින් තොරව දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව විදුලි බල වෘත්තීය සමිති අනතුරු අඟවයි.

ඉංජිනේරු සංගමය ඇතුළු වෘත්තීය සමිති 24ක නියෝජිතයින්ගේ අත්සනින් යුතුව මේ පිළිබඳව දැනුම් දෙමින් විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් 8ක් සම්බන්ධයෙන් බලධාරීන් මෙතෙක් සාධනීය ප්‍රතිචාරයක් දක්වා නොමැති බව වෘත්තීය සමිති පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් පසුගිය ජනවාරි 12 වැනිදා මුල්වරට ලිඛිතව දැනුම් දුන් අතර, රජයේ නිහඬතාව හමුවේ ඊයේ (09) දිනයේදී නැවත වරක් අමාත්‍යවරයා වෙත සිය ස්ථාවරය සිහිපත් කරමින් නව ලිපියක් යොමු කිරීමට ඔවුන් පියවර ගෙන ඇත.

තමන් ඉදිරිපත් කළ ඉල්ලීම් සඳහා පිළිගත හැකි විසඳුම් ලබා දීමට රජය දිගින් දිගටම අපොහොසත් වන්නේ නම්, වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීම හැර වෙනත් විකල්පයක් නොමැති බව සේවකයෝ අවධාරණය කරති.

විශේෂයෙන්ම මෙම ඉල්ලීම් නොසලකා හරිමින් විදුලි බල මණ්ඩලය ඈවර කිරීමේ දිනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කළහොත්, ක්ෂණිකව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව එම ලිපිය මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.