Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සාමාන්‍ය පෙළ පන්ති හෙට මධ්‍යම රාත්‍රියෙන් පසු අවසන්

9 months ago

2025 (2026) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව සියලුම උපකාරක පන්ති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම හෙට (11) මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වන තෙක් සම්පූර්ණයෙන්ම තහනම් කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පවසයි.

මෙම තහනම ක්‍රියාත්මක වන කාලය තුළ විභාග අපේක්ෂකයන් වෙනුවෙන් පවත්වනු ලබන උපකාරක පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ මෙන්ම විවිධ වැඩමුළු සංවිධානය කිරීම ද සපුරා තහනම් වේ.

එමෙන්ම, විභාගයට අදාළ අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, ඒවා බෙදා හැරීම සහ විභාග ප්‍රශ්න පත්‍රවලට සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර් හෝ අත්පත්‍රිකා මඟින් ප්‍රසිද්ධ කිරීම ද මෙම තහනමට ඇතුළත් වේ. මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය මඟින් එවැනි ප්‍රචාරණ කටයුතු සිදු කිරීම හෝ ඒ හා සමාන දෑ ළඟ තබා ගැනීම දණ්ඩනීය වරදක් බව විභාග කොමසාරිස්වරිය වැඩිදුරටත් අවධාරණය කර සිටී.

යම් පුද්ගලයෙකු, ආයතනයක් හෝ වෙනත් පාර්ශ්වයක් මෙම නියෝග නොසලකා ක්‍රියා කළහොත්, ඔවුන් නීතිය හමුවේ වරදකරුවන් වන අතර ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව ද දැනුම් දී ඇත.

යම් හෙයකින් මෙම නියෝග උල්ලංඝනය කිරීමක් සිදු වුවහොත්, ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට, පොලිස් මූලස්ථානයට හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත වහාම පැමිණිලි කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පොලිස් මූලස්ථානයේ 011-2421111 අංකය හෝ 119 පොලිස් හදිසි ඇමතුම් අංකය භාවිතා කළ හැකිය. මීට අමතරව, විභාග දෙපාර්තමේන්තුවේ 1911 ක්ෂණික ඇමතුම් අංකය හෝ 011-2784208 සහ 011-2784537 යන පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ අංක ඔස්සේ ද තොරතුරු ලබා දිය හැකි බව නිවේදනය කර ඇත.