Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගුරු වෙසින් ආ රන් හොරා

9 months ago

දරුවන්ට උපකාරක පන්ති පැවැත්වීම සඳහා නිවෙස්වලට පැමිණ, එම පවුල් සමඟ ගොඩනගාගත් විශ්වාසය අවභාවිත කරමින් රුපියල් ලක්ෂ 59ක් වටිනා රන් භාණ්ඩ වංචා කළ බව කියන 31 හැවිරිදි ගුරුවරයෙකු කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අලුත්ගම, ගනේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු, තමන්ට පවතින දැඩි මුදල් හදිසියක් පවසා මසක් ඇතුළත නැවත ලබාදෙන බවට පොරොන්දු වෙමින් කාන්තාවන් දෙදෙනෙකු සතු රන් භාණ්ඩ මෙලෙස ලබාගෙන ඇති බව පොලිසිය පවසයි.

අලුත්ගම, කළුවාමෝදර ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි කාන්තාවකගේ පැමිණිල්ලකට අනුව, ඇගේ සොහොයුරාගේ දරුවාට පන්ති පැවැත්වීමට පැමිණි මෙම ගුරුවරයා ඉකුත් 2025 මාර්තු මාසයේදී රුපියල් ලක්ෂ 41ක් පමණ වටිනා පවුම් 12 1/2ක රන් භාණ්ඩ ලබාගෙන ඇති අතර ඒවා මෙතෙක් ආපසු ලබා දී නොමැත. එම ප්‍රදේශයේම පදිංචි 38 හැවිරිදි අනෙක් පැමිණිලිකාරිය සඳහන් කර ඇත්තේ, තම සහෝදරයාගේ දරුවාට උගන්වන මුවාවෙන් පැමිණි සැකකරු 2024 නොවැම්බර් මාසයේදී රුපියල් ලක්ෂ 19ක් වටිනා පවුම් 6 1/2ක රන් භාණ්ඩ මෙලෙසම වංචා සහගත ලෙස රැගෙන ගිය බවයි.

මෙම වංචාව සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් අතර, ඔහුව අද (12) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.