Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අමරකීර්ති ඝාතන නඩුවේ මරණ දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට තීරණයක්

9 months ago

හිටපු පා. මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කිරීමට අදාළ නඩුවේ විත්තිකරුවන් 12 දෙනෙකුට මරණ දඬුවම නියම කිරීම සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන බව ජන අරගල සන්ධානයේ විධායක කමිටු සාමාජික නුවන් බෝපගේ පවසනවා.

ඔහු ඒ බව සඳහන් කළේ, අරගල ක්‍රියාකාරීන් පිරිසක් කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

මෙම සිදුවීමට මඟ පෑදූ සැබෑ “ඝාතකයන්” සහ “මූල පිරූ පුද්ගලයන්” තවමත් නිදැල්ලේ පසුවන බවත්, රාජපක්ෂ-රනිල් හවුල විසින් නිර්මාණය කරන ලද මර්දනකාරී වාතාවරණය මෙවැනි අවාසනාවන්ත සිදුවීම්වලට මුල පිරූ බවට එම සන්ධානය චෝදනා කරනු ලබනවා.

නියෝජිත පිරිස පෙන්වා දුන්නේ අරගල සමයේදී සිදු වූ අනෙකුත් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීම පක්ෂග්‍රාහී බවයි.

මැයි 09 වනදා ගෝල්ෆේස් අරගල භූමියට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම දුර්වල බවත්, සනත් නිශාන්ත, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ නාමල් රාජපක්ෂ වැනි පුද්ගලයන් වගඋත්තරකරුවන් කර සාධාරණ පරීක්ෂණයක් සිදු නොවන බවත් ඔවුහු පෙන්වා දුන්නා.

නීතිපති දෙපාර්තමේන්තුවේ සහ පොලිසියේ ක්‍රියාකලාපය දැඩි දෝෂදර්ශනයට ලක් කළ අරගලකරුවන්, ජනාධිපති මන්දිරයේ “බෙඩ්ෂීට් එකක්” හොරකම් කළා යැයි පවසා තරුණයන් අත්අඩංගුවට ගෙන නඩු පවරන ආණ්ඩුව, අරගලයට පහර දීමට නායකත්වය දුන් පිරිස් ආරක්ෂා කරන බවට චෝදනා කළා.