Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අල්ලස් ගත්තැයි කොළඹ ජාතික රෝහලේ සේවකයන් දෙදෙනෙක් රිමාන්ඩ්

9 months ago

වැඩ තහනමකට ලක් ව ඇති පුද්ගලයෙකුට සෞඛ්‍ය කාරක සහයක තනතුරට අදාල පත්වීම සෞඛ්‍ය අමාත්‍යාංශය නිලධාරීන් ලවා නැවත සකස් කර දීම සඳහා අල්ලස් ලෙස රුපියල් 50,000ක මුදලක් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් කොළඹ ජාතික රෝහලේ සුළු සේවා පාලක වැඩ බලන නිලධාරියෙකු සහ එම අංශයේ කාර්ය සහායකවරයෙකු ලබන 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම අද(13) නියෝග කළා.

සිද්ධියට අදාල සැකකරුවන් අල්ලස් කොමිසම විසින් අද දහවල් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.

එසේ වැඩ තහනමට ලක්ව සිටින තැනැත්තා විසින් අල්ලස් කොමිසමට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුයේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ කොළඹ ජාතික රෝහලේ වැඩ තහනමට ලක්වී ඇති පුද්ගලයෙකුට එම රැකියාව නැවත ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ලවා නැවත සකස් කර දීමට අවශ්‍ය කටයුතු කරදීම සඳහා අල්ලස් ලෙස රුපියල් පනස්දහක මුදලක් පැමිණිලිකරුගෙන් ලබාගෙන ඇති බවයි.

එම සිද්ධියට අදාළව මෙම සැකකරුවන් දෙදෙනා ලක්ෂයක මුදලක් ඉල්ලා ඇති බවත් මින් පෙර පනස්දහක මුදලක් චෙක්පතක් මගින් ලබාදී ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.

දෙවැනි අවස්ථාවේදී ඉතුරු පනස්දහක මුදල ලබා ගන්නා විට උපාය දූතයෙකු මගින් සැකකරුවන් අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනා ලබන 24 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා.