ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සත්කාරකත්වය දරන 2026 විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ මෙරට පැවැත්වෙන තරඟ අතිසාර්ථකව සහ සුරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් පුළුල් ආරක්ෂක සැලැස්මක් ප්‍රකාශයට පත් කර ඇත.
ජාත්‍යන්තර ක්‍රීඩකයින්, නිලධාරීන් සහ ප්‍රේක්ෂකයින් විශාල පිරිසකගේ පැමිණීම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ බුද්ධි අංශ ඒකාබද්ධ වූ බහුවිධ ආරක්ෂක ව්‍යුහයක් මේ සඳහා ක්‍රියාත්මක වේ.
මෙම සැලැස්ම යටතේ ක්‍රීඩාංගණ, කණ්ඩායම් රැඳී සිටින හෝටල්, පුහුණු මධ්‍යස්ථාන සහ ගුවන් තොටුපළ ඉලක්ක කර ගනිමින් විසිහතර පැය පුරා ක්‍රියාත්මක ආරක්ෂක පද්ධති ස්ථාපනය කර ඇත.
CCTV නිරීක්ෂණ, පිරිස පාලනය කිරීමේ විශේෂ ක්‍රමවේද සහ වාහන පරීක්ෂා කිරීමේ දැඩි ක්‍රියා පටිපාටි ක්‍රියාත්මක වන අතර, රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ සම්භාවනීය අමුත්තන් සඳහා විශේෂ ආරක්ෂක ඒකක ද යොදවා තිබේ. මීට අමතරව, ගුවන් අවකාශය නිරීක්ෂණය කිරීමේ කටයුතු ද ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඉහළ නංවා ඇත.
තරඟාවලිය පුරා මහජන සාමය තහවුරු කිරීම සඳහා සහාය වන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියි. සැකකටයුතු ක්‍රියා පිළිබඳව බලධාරීන් දැනුවත් කරන ලෙසත්, ක්‍රීඩාංගණ මාර්ගෝපදේශ පිළිපදින ලෙසත් මහජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ. ඉහළ වෘත්තීය මට්ටමකින් යුත් සුරක්ෂිත වටපිටාවක ලෝක කුසලාන අත්දැකීම විඳගැනීමට අවස්ථාව සලසා දීමට රජය කැපවී සිටින බව ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.
