කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම නිවේදනයකට අනුව, ඉදිරි පැය 36ක කාලය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කෙරේ.
ඒ අනුව මධ්‍යම සහ ඌව පළාත්වලත්, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ තරමක් තද වැසි පතිත විය හැකියි. මීට අමතරව උතුරු සහ උතුරු මැද පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.
විශේෂයෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක් තද වැසි ඇති වීමේ හැකියාවක් පවතී. එමෙන්ම අළුයම් කාලයේදී බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද කාලගුණ නිවේදනය මගින් වැඩිදුරටත් දැනුම් දී තිබේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදු විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
