Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මාලිමාවේ නීතිඥවරුන්ගෙන් නිවේදනයක්

9 months ago

අකුරේගොඩ ප්‍රදේශයේදී පසුගිය 13 වැනිදා නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ නිවේදනයක් නිකුත් කරමින් පවසති.

ඝාතනයට ලක්වූ බුද්ධික මල්ලවආරච්චි මහතා සහ ඔහුගේ බිරිඳගේ අකල් වියෝව සම්බන්ධයෙන් නීතිඥ ප්‍රජාව ලෙස තමන් දැඩි සංවේගයට පත්වන බව එම නිවේදනයේ සඳහන් වේ. පුරවැසි අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින වෘත්තිකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වන මෙවැනි ප්‍රහාරයන් ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි තර්ජනයක් බව ඔවුහු පෙන්වා දෙති.

පසුගිය පාලකයින් තමන්ගේ පටු දේශපාලන අරමුණු ඉටු කරගැනීම සඳහා පෝෂණය කළ මැර කල්ලි සහ “පාර රාජ්‍ය” යාන්ත්‍රණයන්හි අනිසි ප්‍රතිඵලයක් ලෙස මෙම අපරාධය ඔවුන් හඳුන්වා දී ඇත. මහ දවල්, ජනාකීර්ණ පරිසරයක මෙවැනි සන්නද්ධ ප්‍රහාර සිදු කිරීමට අපරාධකරුවන්ට ඇති නිර්භයභාවය පිටුපස පැවති දේශපාලන රැකවරණය පිළිබඳවද එහි අවධාරණය කර තිබේ.

වත්මන් රජය අපරාධ මර්දනය සඳහා ගෙන යන වැඩපිළිවෙළ මීට වඩා වේගවත් කළ යුතු බව ජාතික ජන බලවේගයේ නීතිඥයින් පවසයි. වින්දිතයන් නීතිඥ ප්‍රජාවට අයත් වීම නිසාම නොව, ඕනෑම සාමාන්‍ය පුරවැසියෙකුගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමක් බව එම නිවේදනයේ දැක්වේ. යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සහ අපරාධ වැළැක්වීමේ යාන්ත්‍රණය වෙනදාට වඩා ශක්තිමත් විය යුතු බවද ඔවුහු අවධාරණය කරති.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව තමන් වෙත පැවරී ඇති වගකීම නිසි ලෙස ඉටු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව පවසන නීතිඥ කණ්ඩායම, ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණය කඩිනමින් විමර්ශන අවසන් කර අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවනු ඇතැයි අපේක්ෂා කරන බවද සිය නිවේදනය මගින් වැඩිදුරටත් දන්වා සිටියි.