බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී මහතා නිල සංචාරයක් සඳහා අද (17) පෙරවරුවේ දිවයිනට පැමිණ තිබෙනවා.
නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සමඟ එරට උසස් නිලධාරීන් හත්දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ද මෙම සංචාරයට එක්ව සිටියා.
දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයට අයත් QR-664 දරන ගුවන් යානයෙන් අද උදෑසන 09.11ට ඔවුන් කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟා වුණා.
එහිදී බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස පිළිගැනීම සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියා.
දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් සිදුකෙරෙන මෙම සංචාරය තුළදී, ඩේවිඩ් ලැමී මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීන් ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
මීට අමතරව, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත්වූවන්ට එක්සත් රාජධානිය ලබාදුන් මානූෂීය ආධාර වැඩපිළිවෙළ නිරීක්ෂණය කිරීම ද මෙම සංචාරයේ ප්‍රධාන අරමුණක්.
එමෙන්ම ළමා රැකවරණය සඳහා වන ගෝලීය ව්‍යාපාර ප්රඥප්තියට අදාළ ගිවිසුමට අත්සන් තැබීම ද බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය අතරතුර සිදුවනු ඇති.
