නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා සාහසික ලෙස ඝාතනය කිරීමේ පුවතත් සමඟ මෙරට පුරවැසියන්ගේ සහ වෘත්තීයවේදීන්ගේ ආරක්ෂාව පිළිබඳ බරපතළ ගැටලුවක් මතු වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය අවධාරණය කරන්නේ, රාජ්‍යයක් තුළ පුරවැසියාගේ සහ වෘත්තීයවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ඕනෑම රජයක ප්‍රමුඛතම වගකීමක් බවයි.
ඕනෑම වෘත්තීයවේදියෙකුට බාහිර බලපෑම්වලින් හෝ තර්ජනවලින් තොරව, ස්වාධීනව සහ නිදහස්ව තම වෘත්තීමය සේවාවන් සැපයීමේ අයිතියක් ඇති බව එම නිවේදනය මගින් පෙන්වා දී තිබේ. මෙවැනි සාහසික අපරාධ හරහා එම නිදහස සහ අයිතිය බරපතළ ලෙස උල්ලංඝනය වන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම සිදුවීමත් සමඟ රෝහල් පද්ධතිය තුළ වෛද්‍යවරුන් ඇතුළු සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව පිළිබඳව ද එම සංගමය සිය කනස්සල්ල පළ කර සිටියි. වර්තමානයේ රෝහල් තුළ වෛද්‍යවරුන් ද විවිධ ආරක්ෂක ගැටලුවලට මුහුණ දෙමින් සිටින බව පවසන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වෘත්තීයමය පරිසරය තුළ වෘත්තීයවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ශක්තිමත් සහ විශ්වාසනීය වැඩපිළිවෙලක් කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බව රජයට දැනුම් දෙයි.
