2009 සහ 2010 වර්ෂවලදී සේවයට බඳවා ගත් ග්‍රාම නිලධාරීන් පිරිසක් තමන්ට සිදුව ඇති අසාධාරණකම්වලට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබේ.
මෙම නිලධාරීන් චෝදනා කරන්නේ තමන් සේවයට බඳවා ගත් දින සිට මේ දක්වාම විවිධ නොසලකා හැරීම්වලට ලක්ව ඇති බවයි. විශේෂයෙන්ම ග්‍රාම නිලධාරී සේවය සඳහා හඳුන්වා දුන් නව සේවා ව්‍යවස්ථාව හේතුවෙන් තමන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බව ඔවුහු පෙන්වා දෙති. මෙම ගැටලු සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා සහ ලේකම්වරයා සමඟ කිහිප වරක් සාකච්ඡා කළද, මෙතෙක් සාධනීය විසඳුමක් ලැබී නොමැති බව වාර්තා වේ.
දැනට වාර්තා වන දත්ත වලට අනුව, 2026 මාර්තු 02 වන දින වන විට ග්‍රාම නිලධාරී සේවයේ වසර 17ක් සම්පූර්ණ කරන නිලධාරීන් 2,300කට අධික පිරිසක් මෙම ගැටලුවෙන් අගතියට පත්ව ඇත. මෙය සමස්ත සක්‍රීය ග්‍රාම නිලධාරී සේවයෙන් 25%ක පමණ ප්රතිශතයකි.
තමන්ගේ ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් එළඹෙන මාර්තු මස 03 වනදා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවක් පැවැත්වීමට මෙම පිරිස සූදානම් වේ. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා ග්‍රාම නිලධාරී වෘත්තීය සංගම් මෙන්ම පරිපාලන ග්‍රාම නිලධාරී සංගම් ද සිය සහාය පළ කිරීමට තීරණය කර ඇත.
තම ඉල්ලීම් සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමු නොකරන්නේ නම්, ඉදිරියේදී මීට වඩා දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග කරා අවතීර්ණ වන බවට 2009/2010 ග්‍රාම නිලධාරී කණ්ඩායම වැඩිදුරටත් අනතුරු හඟවා සිටියි.
