Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

9 months ago

පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ගත වූ පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව වැඩිම වර්ෂාපතනය ඇහැළියගොඩ ප්‍රදේශයෙන් මි.මී. 171ක් ලෙස වාර්තා වී ඇති අතර කටුගස්තොට ප්‍රදේශයට මි.මී. 120ක වර්ෂාපතනයක් ලැබී තිබේ.

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පවසන පරිදි, අද පස්වරු 1.00න් පසුව දිවයිනේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකියාවක් පවතී. ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි මෙන්ම වැසි පවතින අවස්ථාවල තාවකාලික තද සුළං ද ඇති විය හැකිය. මීට අමතරව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව පළාත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක.

අද පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලෝක කුසලාන තරගය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මලිත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, මහනුවර ආශ්‍රිතව හවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බැවින් තරගයට වැසි බාධා එල්ල වීමේ වැඩි අවස්ථාවක් පවතින බවයි. කෙසේ වෙතත්, හෙට (23) දිනයේ සිට වැසි තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තු විය හැක.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 20ත් 30ත් අතර වුවද, මාතර සිට මුලතිව් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 45 දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.