දිවයිනේ ප්රදේශ රැසකට ඇද හැලෙන තද වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්රික්ක කිහිපයක ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන තිබේ. මෙම නිවේදනය අද (22) පෙරවරු 09.30 සිට හෙට (23) පෙරවරු 08.30 දක්වා බලපැවැත්වේ.
මට්ටම 03 – ඉවත් වීමේ රතු නිවේදන: මහනුවර, කෑගල්ල, මාතලේ සහ රත්නපුර දිස්ත්රික්කවල පහත සඳහන් ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මින් පෙර නිකුත් කළ රතු නිවේදන එළැසින්ම ක්රියාත්මක වේ:
- මහනුවර: උඩුනුවර, ගඟ ඉහළ කෝරළය, දොළුව, යටිනුවර.
- කෑගල්ල: කෑගල්ල, යටියන්තොට, මාවනැල්ල, දෙහිඕවිට, අරණායක.
- මාතලේ: ලග්ගල පල්ලේගම, අඹන්ගළ කෝරළය, උකුවෙල, විල්ගමුව, රත්තොට.
- රත්නපුර: රත්නපුර ප්රාදේශීය ලේකම් කොට්ඨාසය.
මට්ටම 02 – විමසිලිමත් වීමේ නිවේදන: බදුල්ල, හම්බන්තොට, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මොනරාගල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්රික්කවල ප්රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. විශේෂයෙන් ඇහැලියගොඩ, කොත්මලේ, වැල්ලවාය සහ දැරණියගල වැනි ප්රදේශවල ජනතාව මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසු විය යුතුය.
මට්ටම 01 – අවධානයෙන් සිටීමේ නිවේදන: ගාල්ල (නියාගම), බදුල්ල (හල්දුම්මුල්ල), මොනරාගල (බඩල්කුඹුර) ඇතුළු තවත් දිස්ත්රික්ක කිහිපයක ප්රදේශ සඳහා අවධානයෙන් සිටින ලෙසට පළමු මට්ටමේ නිවේදන නිකුත් කර තිබේ.
කඳු බෑවුම් ආශ්රිතව පදිංචි ජනතාව පොළොවේ ඇතිවන පැලුම්, ගස් ඇලවීම් හෝ හදිසියේ උල්පත් මතු වීම් වැනි නායයෑම් පූර්ව ලක්ෂණ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් දන්වා සිටී.
