අධිකරණ කටයුත්තක් සිදුවෙමින් පවතින අතරතුර එහි දර්ශන ජංගම දුරකථනයෙන් වීඩියෝ කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ තරුණියකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (24) රුපියල් දහසක දඩයක් නියම කළේය.
කොළඹ ප්‍රදේශයේ පදිංචි මෙම තරුණියගේ පියා නඩු කටයුත්තකට අදාළව කොළඹ අංක දෙක අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ සාක්ෂි ලබා දෙමින් සිට ඇත. එම අවස්ථාවේදී විත්තිකාර තරුණිය සිය ජංගම දුරකථනයෙන් එම දර්ශන වීඩියෝ කර ඇති බව කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට වාර්තා කර තිබේ.
ඇය වීඩියෝ ගත කරනු දුටු අධිකරණය භාර පොලිස් නිලධාරියා වහාම ක්‍රියාත්මක වී ඇය සතු ජංගම දුරකථනය ද සමඟ ඇයව අත්අඩංගුවට ගෙන ඇත. අනතුරුව ඇය වැඩිදුර විමර්ශන සඳහා කෙසෙල්වත්ත පොලිසිය වෙත ඉදිරිපත් කර තිබුණි.
අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී තරුණිය සිය වරද පිළිගත් අතර, ඒ අනුව ඇයට රුපියල් දහසක දඩයක් නියම විය. මීට අමතරව අදාළ වීඩියෝ දර්ශනය දුරකථනයෙන් මකා දමන ලෙස ඇයට නියෝග කෙරුණි. නැවත මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් සිදු නොකරන ලෙසට දැඩිව අවවාද කරන ලදී.
