අකුරේගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැල් රථගාලකදී මෝටර් රථයක් තුළ සිටි නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා අද (25) පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේ මෙය ඉතා සංවිධානාත්මක කල්ලියක් විසින් මෙහෙයවූ අපරාධයක් බවයි.
මෙම අපරාධය සඳහා යොදාගත් වාහන 4ම පොලිස් භාරයට ගෙන ඇති අතර, ඉන් එක් වාහනයක් අපරාධකරුවන් විසින් ගිනිබත් කර තිබියදී සොයාගෙන ඇත. ඊයේ (24) මොනරාගල ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී දෙවන වෙඩික්කරුද අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත්, ඒ අනුව වෙඩික්කරුවන් දෙදෙනාම මේ වන විට පොලිස් භාරයේ පසුවන බවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.
අදාළ වෙඩික්කරු අත්අඩංගුවට ගැනීම සඳහා මාධ්‍ය මගින් ලබාදුන් ප්රචාරයත් සමඟ මහජනතාව සැපයූ තොරතුරු තීරණාත්මක වූ බව පොලීසිය පවසයි. සැකකරු සමඟ තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා අද කොළඹට රැගෙන ඒමට නියමිතය.
ඝාතනයට යොදාගත් ගිනිඅවි දෙක සහ මෙම අපරාධයේ ප්‍රධාන සැකකරු මේ වන විට හඳුනාගෙන ඇති බවත්, ඉතා සූක්ෂ්ම ලෙස සැලසුම් කර තිබූ මෙම අපරාධය විසඳීමට පියවරෙන් පියවර ලැබුණු කුඩා තොරතුරු ඉවහල් වූ බවත් සජීව මැදවත්ත මහතා වැඩිදුරටත් කියා සිටියේය.
