කොළඹ: ඉන්දියාවේ මුම්බායිහිදී අත්අඩංගුවට පත්ව එරට පොලිස් භාරයේ පසු වූ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අරුමාහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා හෙවත් ‘පොඩි ලැසී’ මෙරටට රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) කණ්ඩායමක් ඊයේ (25) පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.
රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සහ ජාත්‍යන්තර පොලිසිය හරහා ගත් ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස, ඉන්දියාවේ නීතිමය කටයුතු අවසන් කිරීමෙන් පසු සැකකරු අද (26) දිනයේදී මෙරට නිලධාරීන්ට භාර දීමට නියමිත බව වාර්තා වේ.
සිය පියා වූ තෙල්වත්තේ වසන්ත ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස අපරාධ ලෝකයට පිවිසි අතර, පියාගේ මරණයෙන් පසු කිරිබත් පිසූ අයෙකු ඝාතනය කිරීම ඔහුගේ පළමු අපරාධය ලෙස සැලකේ.2015 වසරේදී රත්ගම ප්‍රාදේශීය සභා සභාපති මනෝජ් මෙන්ඩිස් ඝාතනය, බන්ධනාගාර ජේලර්වරයෙකු ඝාතනය සහ පවුලක තිදෙනෙකු ඝාතනය කිරීම වැනි දරුණු අපරාධ රැසකට මොහු චෝදනා ලබා සිටියි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ දූෂිත නිලධාරීන් සමඟ සබඳතා පවත්වමින් දිවයින පුරා මහා පරිමාණ හෙරොයින් ජාලයක් මෙහෙයවූ ප්‍රධාන ගැනුම්කරුවෙකු ලෙස මොහු හඳුනාගෙන තිබුණි.
මනුෂ්‍ය ඝාතන රැසක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි මොහුට 2024 දෙසැම්බර් 09 වන දා ඇප හිමි විය. අනතුරුව තමන්ට ජීවිත තර්ජන ඇති බව පවසමින් මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස ඉන්දියාවට පලා ගිය මොහු, ව්‍යාජ ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ඉන්දියාවෙන් පිටවීමට උත්සාහ කිරීමේදී 2025 ජනවාරි මාසයේදී මුම්බායිහිදී අත්අඩංගුවට පත් විය.
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටියදී එවකට සිටි ජනාධිපතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන්ට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරීම හේතුවෙන් ‘පොඩි ලැසී’ දැඩි ආන්දෝලනයකට ලක්ව සිටි අපරාධකරුවෙකි. දිවයිනට රැගෙන ඒමෙන් පසු ඔහුට එරෙහිව පවතින නඩු රැසක් සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
