රජයේ ඉඩම් සංවර්ධනය කරමින් භුක්ති විඳින ගොවි ජනතාව ඇතුළු මහජනතාවට එම ඉඩම්වල පරම අයිතිය ලබා දෙන ‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍ර පිළිගැන්වීමේ ජාතික වැඩසටහන හෙට (27) ආරම්භ වේ. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරු 2.00ට අනුරාධපුර කොරකහවැව උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
1935 අංක 19 දරන ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ අවසර පත්‍ර සහ දීමනා පත්‍ර මත ඉඩම් භුක්ති විඳින ජනතාවට එම ඉඩම්වල පරම අයිතිය නොමැති වීම නිසා පැනනැගී ඇති ගැටලුවලට විසඳුම් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. මෙහිදී දැනට පවතින සීමා සහිත කොන්දේසි ඉවත් කර, 1947 අංක 8 දරන රජයේ ඉඩම් ආඥා පනතට අනුකූලව ජනතාවට ‘නිදහස් ප්‍රදාන පත්‍ර’ හිමි වේ.
හෙට දිනයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් 500ක් සඳහා නිදහස් ප්‍රදානපත්‍ර පිරිනැමේ.ඉදිරියේදී දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සහ ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන මෙහෙයවනු ලබයි.
