ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඊයේ අලුයම මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජනිත් මධුසංඛ හෙවත් ‘පොඩි ලැසී’ සම්බන්ධයෙන් අංශ 3ක් ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේ, සැකකරු බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක රැඳවුම් නියෝග ලබාගත් බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙරටට රැගෙන ආ සැකකරු මේ වන විට වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය වෙත භාර දී තිබේ.
විදේශගත වීම තහනම් කරමින් අධිකරණය ඇප කොන්දේසි පනවා තිබියදී හොර රහසේ ඉන්දියාවට පලාගිය ‘පොඩි ලැසී’, පසුගිය ජනවාරි 16 වනදා මුම්බායිහිදී ඉන්දීය බලධාරීන්ගේ අත්අඩංගුවට පත්විය. ඔහුට එරෙහිව ඇති ප්‍රධාන චෝදනාවක් වන්නේ 2015 වසරේදී රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස් ඝාතනය කිරීමයි.
සිය පියා ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස මෙම අපරාධය සිදුකර ඇති බවට කරුණු අනාවරණය වී ඇති අතර, දකුණේ පාතාලයේ සිදුවූ වැඩිම අපරාධ සංඛ්‍යාවකට මොහුගේ කණ්ඩායම් සෘජුවම සම්බන්ධ බවට පොලිසිය සැක කරයි.
