ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනය කිරීම සම්බන්ධයෙන් රට තුළ දැඩි කතාබහක් සහ ආන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය වී ඇති පසුබිමක, නොරොච්චෝලේ බලාගාරය සඳහා හදිසියේ ගල්අඟුරු මිලදී ගැනීමට ලංකා ගල්අඟුරු සමාගම පියවර ගෙන තිබේ.
ලංකා ගල්අඟුරු සමාගමේ නිල වෙබ් අඩවියේ පළ කර ඇති නිවේදනයකට අනුව, 2026 මාර්තු සහ අප්‍රේල් කාලසීමාව සඳහා අවශ්‍ය ගල්අඟුරු මෙලෙස මිලදී ගැනීමට සැලසුම් කර ඇත. ඒ අනුව ගල්අඟුරු මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක (300,000 MT) ප්‍රමාණයක් සපයා ගැනීම සඳහා අදාළ ටෙන්ඩර් කැඳවීම් සිදුකර තිබේ.
පෙබරවාරි 25 වැනිදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලද මෙම දැන්වීමට අනුව, ඉදිරි මාස දෙකක කාලය තුළ නොරොච්චෝලේ බලාගාරයේ අඛණ්ඩ ක්‍රියාකාරීත්වය තහවුරු කිරීම සඳහා මෙම ප්‍රසම්පාදන කටයුතු කඩිනමින් අවසන් කිරීමට අපේක්ෂිතය.
