ඉරානය සහ ඊශ්‍රායලය අතර උද්ගතව ඇති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් මැදපෙරදිග කලාපයේ ගුවන් කලාප කිහිපයක් වසා දැමීමට පියවර ගෙන තිබේ.
මේ හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානාවල ගමන් වාර ප්‍රමාද විය හැකි බව එම සමාගම නිවේදනය කරයි.
ගුවන් මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් යානා දැනට පියාසර කරන මාර්ගයන්හි සංශෝධන සිදු කර ඇති බව ගුවන් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි. මේ හේතුවෙන් ගමනාන්ත කරා ළඟා වීමට ගතවන කාලය වෙනස් විය හැකි බව පාරිභෝගිකයන් වෙත දැනුම් දී ඇත.
පවතින අනාරක්ෂිත වාතාවරණය සැලකිල්ලට ගනිමින් කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේන් ඇතුළු රටවල් කිහිපයක් සිය ගුවන් කලාප තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.
මීට අමතරව බහරේනයේ පිහිටි ඇමරිකානු නාවික හමුදා මූලස්ථානය වෙත ද මිසයිල ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වේ.
