මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන “දෙමටගොඩ රුවන්” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සැකකරුට ඇප ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 50ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියකට අදාළව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ආර්. දුමින්ද සිල්වා මහතා සැකකරුවකු ලෙස නම් කිරීමට අල්ලස් කොමිසම පියවර ගෙන තිබේ.
ඊයේ (03) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කරුණු දක්වමින් අල්ලස් කොමිසම මේ බව අනාවරණය කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් මොහොමඩ් මොහිදීන් සප්රාස් නවාස් නමැති සැකකරු ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ කාලය තුළ දුමින්ද සිල්වා මහතාගේ අනුදැනුම මත මෙම ලක්ෂ 50ක අල්ලස් මුදල ලබාගෙන ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත.
මීට අමතරව රුපියල් ලක්ෂ 100ක අල්ලස් මුදලක් ලබාගත් තවත් සැකකරුවකු සිට ඇති අතර ඔහු මේ වන විට මියගොස් ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේය.
සැකකරුවකු ලෙස නම් කර ඇති ආර්. දුමින්ද සිල්වා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වා අධිකරණයට වාර්තා කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
