පසුගිය කාලසීමාවේ දේශපාලන සහ සමාජීය වශයෙන් දැඩි කතාබහට ලක්වූ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණායක සහ පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය අද (04) කොළඹ මහාධිකරණයේදී පැවැත්විණි.
මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබූ අතර, එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතාගේ මෙහෙයවීම මත ප්‍රධාන සාක්ෂිකාරියක වන අනිකා විජේසූරිය මහත්මියගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු විය.
මෙම නඩුව පවරා ඇත්තේ 2016 වසරේ පෙබරවාරි සහ සැප්තැම්බර් අතර කාලසීමාව තුළ රවී කරුණායක මහතා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී, අර්ජුන් ඇලෝසියස් මහතා අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ සමාගමකට අයත් “මොනාර්ක් නිවාස සංකීර්ණයේ” පිහිටි සුඛෝපභෝගී නිවසක පදිංචිව සිටීම සම්බන්ධයෙනි. මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් මෙලෙස නිවසක් ලබාගැනීම හරහා අල්ලස් පනත උල්ලංඝනය කර ඇති බවත්, අර්ජුන් ඇලෝසියස් මහතා එම ක්‍රියාව සඳහා ආධාර අනුබල දී ඇති බවත් අල්ලස් කොමිසම මෙහිදී චෝදනා කරයි.
