හිටපු බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම, රජය විසින් යම් යම් පාර්ශ්වයන් සැනසීම සඳහා ගනු ලැබූ දේශපාලන ක්‍රියාමාර්ගයක් බව හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
අද (04) පැවැති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව අවධාරණය කළේය.
මේ අතර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ රඳවාගෙන සිටින සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරුන් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරනු ලැබීය. එම අවස්ථාවේදී කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා විමසා සිටියේ මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් අධිකරණයට කරුණු වාර්තා කර තිබේද යන්නයි. ඊට පිළිතුරු දෙමින් CID නිලධාරීන් ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් මෙතෙක් අධිකරණයට කරුණු වාර්තා කර නොමැති බවයි.
සලේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඔහු මෙරටට කළ සේවය හේතුවෙන් දැඩි ජීවිත තර්ජන පවතින බැවින්, පහත සඳහන් සහන ලබාදෙන ලෙසයි:
නිවසින් ආහාර ලබාගැනීමට අවසර දීම.
ඔහුගේ පුත්‍රයාට ඔහු හමුවීමට අවස්ථාව ලබාදීම.
නීතිඥවරුන්ට අවශ්‍ය උපදෙස් ලබාගැනීම සඳහා පහසුකම් සැලසීම.
කෙසේ වෙතත්, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ සැකකරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් අධිකරණයට නිල වශයෙන් කරුණු වාර්තා කර නොමැති බැවින්, එම ඉල්ලීම් සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීමට අධිකරණයට හැකියාවක් නොමැති බවයි.
