ශ්‍රී ලංකා මුහුදු සීමාවේ කොළඹ වරාය ආසන්නයේ තවත් ඉරාන නෞකාවක් ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින්, ඒ පිළිබඳව රජය පැහැදිලි ප්‍රකාශයක් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (05) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. ඊයේ (04) දිනයේදී අමෙරිකානු සබ්මැරිනයක සිට එල්ල කළ ටෝපිඩෝ ප්‍රහාරයකින් නෞකාවක් විනාශ වීම සම්බන්ධයෙන් ද රජය සභාව දැනුවත් කළ යුතු බව ඔහු පැවසීය.
විපක්ෂ නායකවරයා සිය ප්‍රකාශය මගින් පෙන්වා දුන් ප්‍රධාන කරුණු කිහිපයකි:
මෙරට මුහුදු සීමාවේ සිදුවන මෙවැනි බරපතළ ක්‍රියාවන් පිළිබඳව රජය දැනුවත්ව නොසිටීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවත්, මෙය රටේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව පිළිබඳ ගැටලුවක් බවත් ඔහු සඳහන් කළේය.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් රජය ගනු ලබන රාජතාන්ත්‍රික ක්‍රියාමාර්ග පිළිබඳ මෙතෙක් නිසි පැහැදිලි කිරීමක් සිදු කර නොමැති බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
ඉරාන නෞකාවේ සිටි පිරිස බේරාගැනීමට ශ්‍රී ලංකා හමුදාවන් මැදිහත් වීම අගය කරන අතරම, කරාපිටිය රෝහලට රැගෙන ආ ඉරාන ජාතික මෘත දේහයන් තැන්පත් කිරීමට අවශ්‍ය අඩි 40 කන්ටේනර් රථ ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමු විය යුතු බව ඔහු පැවසීය.
මෙවැනි බරපතළ සිදුවීමක් පිළිබඳව රජය දැනුවත්ව සිට සභාව දැනුවත් නොකිරීම මන්ත්‍රීවරුන්ගේ ව්‍යවස්ථානුකූල වගකීම් ඉටු කිරීමට බාධාවක් බව ද ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
