අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ විපක්ෂ නායකවරයා සඳහන් කළ දෙවැනි ඉරාන නෞකාව මෙරට මුහුදු සීමාව තුළ නොව, ඊට ආසන්න අනන්‍ය ආර්ථික කලාපයේ (EEZ) ස්ථානගතව ඇති බවයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදුකළ අනාවරණයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, රජය මේ පිළිබඳව ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි.
ජීවිත හානි අවම කරගැනීම සහ කලාපීය සාමය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අවශ්‍ය මැදිහත්වීම් සිදුකරමින් පවතින බවත්, විපක්ෂ නායකවරයා දන්නා තොරතුරුවලට වඩා වැඩි තොරතුරු ප්‍රමාණයක් රජය සතුව ඇති බවත් ඔහු මෙහිදී පවසා සිටියේය.
මේ සම්බන්ධයෙන් කටයුතු අවසන් වූ වහාම සවිස්තර වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
“විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරන කරුණුවලට වඩා බොහෝ කරුණු අපි දන්නවා…දැනගෙන තමා කටයුතු කරන්නේ. රජය කරුණු දැනගෙන මේ ප්රශ්නය නිරාකරණය කරගැනීම සඳහා, ජීවිත හානි අවම කරගැනීම සඳහා, කලාපීය සාමය ආරක්ෂා කරගැනීම සඳහා කටයුතු කරමින් ඉන්නවා. මේ කියන නැව තවමත් තිබෙන්නේ, අපේ ජාතික ජලතීරය තුළ නෙමෙයි. එය ජාතික ජලතීරයට ආසන්න Exclusive economic zone එකේ. ඒ සම්බන්ධයෙන් උපරිම මැදිහත් වීම කරමින් ඉන්නවා…”
අමාත්‍යවරයා සිදුකළ සම්පූර්ණ කතාව පහතින්…
“රටක් ලෙස ලංකාව ජාත්‍යන්තර සාමය වෙනුවෙන් කටයුතු කරන බවත්, විශේෂයෙන්ම ඉන්දියානු සාගරයේ සාමය අපේ අපේක්ෂාව වන අතර කළ හැකි මැදිහත්වීම සිදුකරමින් කිව්වටත් වඩා දේවල් මේ වෙලාවේ ඉන්දියානු සාගරයේ සිදුවෙමින් පවතිනවා. රජයක් ලෙස ජාත්‍යන්තර නීතියට අනුකූලව සහ මානුෂික පදනමින් මැදිහත් වෙමින් ඉන්නවා. කලාපීය සාමය ආරක්ෂා කරගැනීමට මැදිහත් වෙමින් තියෙනවා. වැඩිදුර තොරතුරු ඉදිරියේ දී දැනුම්දෙන්නම්. මේ වෙලාවේ අපි ජාත්‍යන්තර ප්රඥප්තීන්ට අනුකූල වෙමින් අවම ජීවිත හානි සිදුවන ආකාර සහ ඉන්දීය සාගරයේ සාමය ආරක්ෂා වන ආකාරයට රජයක් ලෙස වගකීම් සහගතව කටයුතු කරනවා.අද හවසට වැඩි විස්තරයක් කියන්න පුළුවන් වෙයි.
“අපි කවුරුත් දන්නවා මැදපෙරදිග කලාපයේ දරුණු යුදමය තත්ත්වයක් වර්ධනය වෙමින් පවතිනවා. ඒ නිසා මේ වෙලාවේ රටක් විදියට පාර්ලිමේන්තුව හරි එළියේ මාධ්‍ය හරි උපයෝගී කරගෙන විහිළු කරන්නවත්, ආණ්ඩුව එක්ක තියෙන දේශපාලන කෝන්තර පිරිමහන්නවත් නැතිනම් තමන් ප්‍රකාශයක් කරන්නවත් එහෙම නැතිනම් තවත් ජන කොටසක් කුපිත කරවන ප්‍රකාශ කරන්නවත් අසත්‍ය තොරතුරු, අර්ධ සත්‍ය තොරතුරු වැරදි තොරතුරු මත පදනම්ව හිතලු කියන්නවත් වෙලාවක් නෙමෙයි.
හැම දේශපාලන දේශපාලනඥයෙක්ම, මහජන නියෝජිතයෙක්ම මෙවැනි ලෝක පරිමාණයෙන් තියෙන මෙවැනි වාරතාරවරණයක දී ඉතා වගකීම් සහගත ප්‍රකාශ කළ යුතුයි.
අපිට තියෙනවා ජාතික ජල තීරයක් අපේ මුහුදු සීමාවේ ඉඳලා නාවික සැතපුම් 12ක්. ඒක අපිට අයිතියි. ඒ නාවික සැතපුම් 12 සිට 200 දක්වා තියෙන්නේ, අනන්‍ය ආර්ථික කලාපය. මේ කලාපය තුළ
ජාත්‍යන්තර නීති ක්‍රියාත්මක වෙනවා. අපිට ආර්ථික කටයුතුවලට තමා බලය තියෙන්නේ. යුද කටයුතුවලට නෙමෙයි.
මේ සිදුවීම වුණේ ගාලු වරායේ ඉඳලා නාවික සැතපුම් 19ක දුරින්. මේ ගැන ඊයේ උදෑසන 5.08ට නාවික හමුදාවට අයිති MRCC එකට ඉස්සෙල්ලාම පණිවුඩයක් ලැබනේනේ. ඒ ලැබෙන්නේ ප්‍රහාරයක් එල්ල කරාද නැද්ද කියලා නෙමෙයි. ඒ කලාපයේ මෘත ශරීර පාවෙමින් තියෙනවා කියන දේ. පැයක් ගතවෙන්න කලින් ශ්‍රී ලංකා නාවික හමුදාව බේරාගැනීමේ මෙහෙයුම් දියත් කරනවා. ඒ වෙලාවේ ප්‍රහාරය ගැන හොය හොය ඉන්න නෙමෙයි තියෙන්නේ, මානුෂීය පදනමින් මැදිහත් වෙලා ජීවිත ගලවා ගැනීමයි.
ඒ අනුව රජය පැත්තෙන්, නාවික හමුදාව, ආරක්ෂක අමාත්‍යාංශය ඒ දේ කරා. අපිට පුළුවන් වුණා කරාපිටිය රෝහලට 32 රැගෙන එන්න. එක් අයෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. 87කගේ මෘත ශරීර දැනට අරගෙන ඇවිත් තියෙනවා.
අපිට තියෙන ෆීසර් ප්‍රමාණවත් නෑ. ඒ නිසා පෞද්ගලික අංශයෙන් මේක අපි ඉටුකරගත යුතුයි. අපි ඒ සඳහා කටයුතු කරමින් තියෙනවා. පැය කිහිපයකින් කොළඹින් දෙකක් යනවා.”
